Homeදේශීයව්‍යවස්ථා වෙනසක් ගැන සජිත් කියයි

ව්‍යවස්ථා වෙනසක් ගැන සජිත් කියයි

අප රටේ මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් මීට වඩා පුළුල් දැක්මකින් යුත් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ තානාපති වෝල්කර් ටර්ක් මහතාගේ පැමිණීමත් සමග අප රටේ මානව හිමිකම් ක්ෂේත්‍රය ගැන සංවාදයක් ඇතිව තිබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මානව හිමිකම් ආරක්ෂා කිරීම ඉතාම වැදගත් බවත් විශ්වීය මානව හිමිකම් ගැන ප්‍රකාශය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ගැන ප්‍රඥප්තිය, ආර්ථික සමාජීය අයිතින් ආරක්ෂා කරන ප්‍රඥප්තිය, කාන්ත ළමා හා ආබාධිත අයගේ අයිතිය රැකිම, ජනවාර්ගික වශයෙන් වෙනස් නොකර සිටිම, හිංසනයෙන් බැහැර වීම හා පාරිසරික අයිතින් සුරැකිම ආදී ලොවම පිළිගත් මානව අයිතිවාසිකම් සුරක්ෂා කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ සුවිශේෂ කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටේ මානව හිමිකම් සුරක්ෂා කරන්න අතුරුදන් වුවන්ගේ කාර්යාලය හානි පුර්ණ කාර්යාලය ජාතික සමගිය හා සංහිදියාව උදෙසා නිර්මාණය වු කාර්යාලය තුළින් පශ්චාත් යුද සමයේ සංහිදියාව මිත්‍රශීලීත්වය එකමුතුභාවය සාක්ෂාත් කරන්න පියවර ගණනාවක් ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ තානාපති වෝල්කර් ටර්ක් මහතා පාර්ලිමේන්තුවේ දී හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම නිසා බොහෝ දේශපාලන පක්ෂ එකග වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තදබල පැහැදිලි වෙනසක් සිදුවිය යුතු බවත් සංශෝධනයක් වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් එමෙන්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත හරහා අදහස් පළ කිරීමේ නිදහස සිමා වන බවත් මෙහි ද වෙනසක් සිදුවිය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන සිව්වැනි කුළුණ ලෙස නිදහස් මාධ්‍ය සුරක්ෂිත කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය ආයතන නියාමන කරන්න විවිධ කොමිසම් පත් කරන්න රජය කටයුතු කරන්නේ නම් ඒවාට විපක්ෂය විරුද්ධ වන බවත් ඊට අමතරව අද වන විට මූලික හා මානව අයිතියක් වන ආර්ථික සමාජිය ආගමික අයිතිය මෙන්ම ජීවත් වීමේ අයිතිය ද තහවුරු කළ යුතු බවත් අද වන විට පවතින බඩු මිල එක්ක මිනිසුන්ගේ ජීවනෝපාය පවා කඩාකප්පල් වී ඇති බවත් ජීවත් වීමේ අයිතිය පවා පලුදු වෙමින් පවතින බවත් ආහාර හා ආහාර නොවන වියදම් සපුරා ගැනීම ද ගැටලුවක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

බඩු මිල ශීඝ්‍රයෙන් ඉහළ⁣ යාම නිසා අප රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පවා උල්ලංඝනය වන බවත් සිවිල් හා දේශපාලන අයිතිය රැක ගැනීම මෙන්ම ජීවත් වීමේ මානව අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලි වෙනසක් සිදු වී මානව හා මුලික අයිතිවාසිකම් ගණයට අයත් දේ්වල් යටතට ජීවත් විමේ අයිතිය අධ්‍යාපන සෞඛ්‍ය මෙන්ම ශක්ති සම්පන්න ජන ජීවිතයක් ලැබිමට අයිතිය තිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments