HomeදේශීයKDU ගැන මේ තීන්දුව ගත්තේ තාවකාලිකව

KDU ගැන මේ තීන්දුව ගත්තේ තාවකාලිකව

කොතලාවල වෛද්‍ය පීඨය සිවිල් සිසුන් සඳහා වසා දැමීමක් සිදුනොවන බවත්, උද්ගත වී ඇති ප්‍රායෝගික තත්ත්වයන් සමාලෝචනය කිරීමෙන් අනතුරුව ගැටලු විසඳාගෙන ස්ථිරසාර ප්‍රවේශයක් ලබා ගන්නා බවත් රජය ප්‍රකාශ කරයි.
අද පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් අසන ලද ප්‍රශ්නයකට සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශවයෙන් පිළිතුරු දෙමින් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැවසුවේ මතුවී ඇති ප්‍රධානම ගැටලුව වන්නේ උසස් වෛද්‍ය වෘත්තිකයෙක් බිහිකරගැනීම සඳහා සීමාවාසී පුහුණුව ලබාදීමට අවශ්‍ය රෝහල්වල විශේෂඥ ඒකකවල වගකීම් දරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය බවය.

වාර්ෂිකව ඩොලර් බිලියන 03ක් උසස් අධ්‍යාපනය සඳහා විදේශවලට ඇදී යෑම වැළැක්වීමටත්, අධ්‍යාපන සංචාරක කර්මාන්තය පදනම් කරගෙන විදේශ විනිමය උත්පාදනය කරගැනීමටත් මේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ ප්‍රතිපත්තියක් සකස් කරගත නොහැකි මන්දැයි රවී කරුණානායක මන්ත්‍රීවරයා පාර්ලමේන්තුවේ දී විමසුවේය.

සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලබන නමුත් රාජ්‍ය පද්ධතිය තුළ විශ්වවිද්‍යාල පහසුකම් ලබා ගත නොහැකි දරුවන් අති විශාල ප්‍රමාණයක් වෙනුවෙන් ඇති අවස්ථාව අහිමිකර කොතලාවල වෛද්‍ය පීඨයට සිවිල් සිසුන් බඳවා ගැනීම වළක්වන ලද්දේ කුමන හේතුවක් නිසාදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය. ඔහු පෙන්වා දුන්නේ දේශීය සිසුන්ට අධ්‍යාපන අයිතිය අහිමි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට එම සිසුන් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට සූදානම් බවය.

මේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසුවේය.

රජයේ විශ්විද්‍යාලවල හෝ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හෝ විදේශීය වෛද්‍ය උපාධිධාරීන් හෝ ලංකාවේ ඇක්ට් 16 සමත් වෙලා ඉන්න සියලු දෙනාම සම්බන්ධයෙන් රජයට වගකීමක් පැවරෙනවා. ඒ තමයි උපාධිය වගේම අදාල ඉන්ටර්න් ෂිප් එක ලබා දීම. ඒක ඉතාම වැදගත්.

උපාධිය පමණක් ලබා දීලා වැඩක් නෑ. සීමාවාසික පුහුණුව වැදගත්, පුහුණුව දුන්නට පස්සේ තමයි අපට සහතික කරන්න ලැබෙන්නේ අපි ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ වෛද්‍යවරයෙක් නිර්මාණය කළා කියන එක.

මේ වෙලාවෙදි ප්‍රශ්නයක් තියනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් තියනවා. ඒ ගොල්ල එක්ක තමයි සීමාවාසික පුහුණුව කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා රජයේ විශ්වවිද්‍යාලවලින් එළියට එන කොතළාවලින් එළියට එන සහ මේ විදේශ වෛද්‍ය උපාධිධාරීන් සියලු දෙනාටම සීමාවාසික පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් ගැටලුවක් පැන නගිමින් තිබෙන බව පෙනෙනවා.

අන්න ඒ නිසා මේකට අදාලව සියලුම පාර්ශවයන් එක්ක සාකච්ඡා කරලා යම් විසඳුමකට පැමිණීම සඳහා තාවකාලිකව මේ තීන්දුවට පැමිණිලා තියනවා. අපි ඉතාම ඉක්මනින් මේ සීමාවාසික පුහුණුව සම්බන්ධ ප්‍රශ්නය විසඳා ගන්න ඕන. මොකද මේ සියලුම වෛද්‍යවරු රාජ්‍ය යාන්ත්‍රණයට හෝ රටේ වෛද්‍ය සේවයට ඇතුළත් නොවුනත්, ඔවුන් විදේශ සේවයට ගියත්, වගකීමක් තියනවා අපට වෛද්‍යවරයාගේ උපාධිය සහ සීමාවාසික පුහුණුව සම්බන්ධයෙන්.

ඒ නිසා මෙන්න මේ ගැටලුව සාකච්ඡා කරමින් පවතින්නේ. ස්ථිරසාර විසඳුමක් මේ ගැටලුවට සොයා ගත්තට පස්සේ අපිට මේ ගැටලුවට විසඳුම සොයා ගන්න පුලුවන්.

RELATED ARTICLES

Most Popular

Recent Comments