Homeදේශීයදුම්රියේ ප්‍රමාදයට ඇත්ත හේතුව

දුම්රියේ ප්‍රමාදයට ඇත්ත හේතුව

දුම්රිය එන්ජින් රියැදුරන් 35 දෙනකු අසනීප නිවාඩු වාර්තා කර එකවර සේවයට නොපැමිණීම හේතුවෙන් ඊයේ සහ පෙරේදා දුම්රිය ගමන්වාර 53 ක් අවලංගු කිරීමට සිදු වී තිබේ.

මෙම රියැදුරන් එකවර නිවාඩු යාම වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් දුම්රිය නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

මගීන් පීඩාවට පත්කරමින් සිදුකළ මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව දේශපාලන හස්තයක වුවමනාවක් මත සිදුව ඇතැයි හෙළිවී තිබෙන බවත් මෙයට සම්බන්ධ දුම්රිය නිලධාරීන් 35 දෙනාගේම නාමාවලිය තමන් සතුව තිබෙන බවත් ඔවුන්ගෙන් අසනීප සඳහා නිදහසට කරුණු විමසා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඊයේ පැවසීය.

එකවර බොහෝ පිරිසකට අසනීපවීමේ කිසිදු හැකියාවක් නැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසීය.

අසනීප නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් ඊයේ උදෑසන දුම්රිය ගමන්වාර 15 ක්ද පෙරේදා දුම්රිය ගමන්වාර 38 ක්ද අවලංගු වී තිබිණි.

ඊයේ උදෑසන අවලංගු වූ ගමන්වාර 15, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 07ක්, පුත්තලම් මාර්ගයේ ගමන්වාර 02 ක් සහ මුහුදුබඩ මාර්ගයේ ගමන්වාර 06 ක් වශයෙනි.මේ හේතුවෙන් කාර්යාල මගීන් ලක්ෂයකට අධික පිරිසක් දැඩි පීඩාවට පත්ව තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම රියැදුරන් විසින් සිදුකළ ක්‍රියාව එන්ජින් රියැදුරු සංගමයේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් නොවන බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

මෙය හුදෙක්ම ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ දෙකයි පනහේ දේශපාලන හස්තයක වුවමනාවක් මත එක්තරා කණ්ඩායමක් විසින් සිදුකර තිබෙන බවද ඉදිරියේදී මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවන් වැළැක්වීමේ අරමුණින් මෙම පිරිස සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් ඒ අනුව ඔවුන් අසනීප නිවාඩු වාර්තා කළ හෙයින් අසනීපයට අදාළ වාර්තා අද දිනය තුළම ඉදිරිපත් කළ යුතු බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් මෙයට සම්බන්ධ හා ඒ සඳහා ඉඩකඩ සැලසූ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

කෙසේ වෙතත් මේ වනවිට දුම්රිය එන්ජින් රියැදුරන් 162 ක් බඳවා ගැනීමට අදාළව අයැදුම්කරුවන් හයසියයක් සඳහා විභාගය පැවැත්වීමට නියමිතව ඇති බවත් ලබන ජුලි මාසයේදී අදාළ විභාගය පැවැත්වීමට සැලසුම් කර සිටින බවත් සාමාන්‍යාධිකාරීවරයා කීවේය.

දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ප්‍රකාශකයකු කියා සිටියේ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දුම්රිය විදුලි දුම්රිය ධාවනාගාර රියැදුරන් පිරිසක් විසින් සිදුකර ඇති බවය.රියැදුරු පුරප්පාඩු නොපිරවීම, රියැදුරන්ට විවේකය හා නිවාඩු අහිමි වීම මත මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බවද හෙතෙම කීවේය.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් ද මීට සතියකට පෙර ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් ද දුම්රිය ගමන්වාර 200 ක් අවලංගු වී තිබිණි.ඒ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 3 කට අධික පාඩුවක් සිදුව තිබිණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments