Homeක්‍රීඩාශ්‍රීලංකාවට රන් පදක්කමක බලාපොරොත්තුව අද

ශ්‍රීලංකාවට රන් පදක්කමක බලාපොරොත්තුව අද

ආසියානු බොක්සිං සම්මේලනයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය සංවිධානය කරන, කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 22ට අඩු සහ යොවුන් බොක්සිං තරගාවලියේ, ‍යොවුන් කාණ්ඩයේ බර පන්ති බහුතරයක ශූරතාවය හිමිකර ගැනීමට කසකස්තාන බාලක බාලිකාවෝ සමත් වූහ. එසේම ශ්‍රී ලංකා ක්‍රීඩක යස්මින් උසයිත් මොහොමඩ් කිලෝග්‍රෑම් 75 බර පන්තිය යටතේ අද සිය රන් පදක්කම සඳහා තරග වැදීමට නියමිතය.
දිනයේ යොවුන් තරග 25ක් පැවැති අතර එහිදී බාලක බර පන්ති තුනක හැරෙන්නට අනෙකුත් සියලුම බර පන්තිවල අවසන් තරගවලට කසකස්තාන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සුදුසුකම් ලබා සිටියහ. ප්‍රථමයෙන් පැවැති බාලිකා කාණ්ඩයේ අවසන් වටයේ තරග 12ක් පැවැත්විණි. එහිදී සෑම තරගයකින්ම ජයග්‍රහණය හිමිකර ගනිමින් රන් පදක්කම් 12ම තමන් සතු කරගැනීමට කසකස්තාන ක්‍රීඩිකාවන් සමත් වන විට ලෝක බොක්සිං සම්මේලනය නියෝජනය කළ ඉන්දීය කණ්ඩායම පදක්කම් 5ක් සමගින් යොවුන් කාන්තා කාණ්ඩයේ වැඩිම රිදී පදක්කම් හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ක්‍රීඩිකා හිරුණි විජේසිංහ කිලෝග්‍රෑම් 48 බර පන්තියේ අවසන් තරගයේදී කසකස්තාන ක්‍රීඩිකා අලීනා කුදයිජෙනෝවා හමුවේ පරාජයට පත් වෙමින් රිදී පදක්කම දිනා ගත්තාය.

බාලක තරග අංශයෙන් තරග 13ක් ඊයේ පැවැත්විණි. එයින් අවසන් තරග තුනකට හැරෙන්නට අනෙකුත් බර පන්තිවල අවසන් තරගවලට සුදුසුකම් ලැබූ කසකස්තාන ක්‍රීඩකයෝ එයින් බර පන්ති 9ක ශූරතාව හිමිකර ගැනීමට සමත් වූහ. කිලෝග්‍රෑම් 75 බර පන්තියේ තියුණු තරගයකින් අනතුරුව තජිකිස්තාන ක්‍රීඩකයා රන් පදක්කම හිමිකර ගනිද්දී ‍යොවුන් කාණ්ඩයේ කසකස්තානය ලද එකම රිදී පදක්කම සසුලාන් බෙර්දලි හිමිකර ගත්තේය. අනෙකුත් තරග තුනෙන් තරග දෙකක ජය කිර්ගිස්තානයට ද, එක් තරගයක ජය තජිකිස්තානයට ද හිමි විය. ඒ අනුව දිනයේ පැවැති යොවුන් කාණ්ඩයේ තරගවලින් රන් පදක්කම් 21ක් කසකස්තානය හිමිකර ගනිද්දී, කිර්ගිස්තාන සහ තජිකිස්තාන ක්‍රීඩකයෝ රන් පදක්කම් 2 බැගින් හිමිකර ගත්හ.

තරගාවලියේ වයස 22න් පහළ අවසන් තරග අද පැවැත්වීමට නියමිතය. එහිදී උසයිත් ට අමතරව කාන්තා කාණ්ඩයෙන් අවසන් තරගයට ඍජු සුදුසුකම් ලද කිලෝග්‍රෑම් 63 බර පන්තියේ එන්. එම්. එච්. එන්. නායකරත්න, කිලෝග්‍රෑම් 75 බර පන්තියේ එන්. එම්. එම්. එස්. නරසිංහ සහ කිලෝග්‍රෑම් 81 බර පන්තියේ එන්. එන්. තරුෂිකා අද තරග වදිති.

RELATED ARTICLES

Most Popular

Recent Comments