තිස්වසරක් පැවති කුරිරු යුද්ධය නිමාකරමින් 2009 මැයි මස 18 වැනිදා යළි මව්බිමට සාමය උදා විය.
මේ යුද ජයග්‍රහණය සමරමින් 2010 වසර සිට විජයග්‍රහණයේ සැමරුම මැයි මස 19 වැනි දින විජයග්‍රහණයේ දිනය ලෙස නම් කරමින් සැමරීම ආරම්භ කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් (විශ්‍රාමික) එස්බී කොහොන පැවසුවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසළදී මෙවර පැවැත්වෙන රණවිරු සැමරුමට ජනාධිපතිවරයා සහභාගී නොවන බවත් ජනාධිපතිවරයා නියෝජනය කරමින් ආරක්ෂක නියෝජ්‍යය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ඊට සහභාගීවන බවත්ය.
ඒ අනුව ඉතිහාසයේ පළමුවරට මෙවර විජයග්‍රහණයේ සැමරුමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සහභාගීවන්නේ නැත. මීට පෙර කිසිදු අවස්ථාවක එවැන්නක් සිදුව නැත. ජනාධිපතිවරයා නැත්නම් අගමැතිවරයා ඊට අනිවාර්යයෙන්ම සහභාගී විය.
2009 දී යුද්ධය අවසන්වන විට ත්‍රිවිධ හමුදාවට අණදුන් අදවන විට මෙරට සිටින ජ්‍යෙෂ්‍ඨතම හමුදා නිලධාරීන්වන “මාර්ෂල්”වරුන් තිදෙනා ඊට සහභාගීවන බවද සභාපතිවරයා පැවසීය.
එහිදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස සහභාගී වුවත් ඔහුට එහි මුලසුන ලබා දීම හමුදා සම්ප්‍රදායානුකූලව මෙන්ම රජයේ නිලධූරාවලිය අනුවද සිදුකළ නොහැක.
ඒ ආරක්ෂක නියෝජ්‍යය අමාත්‍යවරයා නිලධූරාවලියේදී සිටින්නේ ෆීල්ඩ් මාර්ෂල්වරයාට පහළිනි. ෆීල්ඩ් මාර්ෂල්ධූරය සමවන්නේ කැබිනට් අමාත්‍යධූරයකටය.
එපමණක්ද නොව වත්මන් ආරක්ෂක නියෝජ්‍යය අමාත්‍යවරයා යුද හමුදාවේ ජ්‍යෙෂ්‍ඨත්වය අනුවද මාර්ෂල් සරත් ෆොන්සේකාට මෙන්ම සෙසු මාර්ෂල්වරුන්ටත් වඩා කණිෂ්ඨය.
ඒ අනුව මෙවර විජයග්‍රහණයේ සැමරුම අන් කවරදාටත් වඩා වෙනස් මුහුනුවරක් ගනු ඇති අතර එය තවත් ගැටලුවකට රජය මුහුණ දෙන අවස්ථාවක් විය හැකි බව යුද තොරතුරු විශ්ලේෂකයින් පවසයි.