Homeදේශීයරටේ ලුණුත් නෑ

රටේ ලුණුත් නෑ

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගණක අමරසිංහ සඳහන් කළේ ලුණු මෙට්‍රික් ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද එය ප්‍රමාද වී ඇති බවය.

එම නිසා වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් දක්නට ලැබෙන බව ගණක අමරසිංහ සඳහන් කළේය.

ඉදිරි සතිය තුළ අදාළ ලුණු තොග දිවයිනට ලැබීමත් සමග පවතින ලුණු හිඟය පාලනය වනු ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ වැඩි දුරටත් පැවසිය.

මේ අතර වෙළෙඳපොළ තුළ ලුණු මිල ද ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් චෝදනා කරති.

කැට ලුණු කිලෝ ග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි කිරීමට වෙළෙඳුන් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි.

ඇතැම් පාරිභෝගිකයින් ඒ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද අදහස් පළකර තිබුණි.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සඳහන් කළේ ලුණු මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට ද පැමිණිලි ලැබී ඇති බවයි.

ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැටලීම් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව අසේල බණ්ඩාර පවසයි.

මේ අතර ලංකා ලු‍ණු සමාගම පවසන්නේ, ආනයනය කළ ලුණු තොගයක් ඉදිරි සති දෙක තුළ දිවයිනට ළගා වීමට නියමිත බවයි.

එහි සභාපති ඩී. නන්දනතිලක පවසා සිටියේ, පසුගිය මාර්තු 15 වැනිදායින් පසු හම්බන්තොට, අලිමංකඩ සහ පුත්තලම ලේවායන්හි ලු‍ණු අස්වැන්න ලබාගැනීමට කාලගුණයෙන් බාධා එල්ල වීම හමුවේ මෙලෙස ලුණු හිඟයක් මතු වූ බවයි.

මෙවන් පසුබිමක ලංකා ලුණු සමාගම ලු‍ණු මෙට්‍රික් ටොන් දස දහසක් සහ ජාතික ලු‍ණු සමාගම ලු‍ණු මෙට්‍රික් ටොන් විසිදහසක් වශයෙන් ලුණු තොග ආනයනය කිරීමට තීරණය කර තිබිණ.

RELATED ARTICLES

Most Popular

Recent Comments