තැන්පත් ගිණුම්වලින් මුදල් ඉවත් කිරීම අපරාධයක් නොවන බවත් අපරාධයක් වන්නේ තැන්පත් ගිණුම්වලට මුදල් යෙදවීම බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අද අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
ඒ අනුව චාමර සම්පත් මන්ත්‍රීවරයාගේ ගැටලුවේදී කිසිඳු අඩුපාඩුවක් තමන්ට පෙනෙන්නට නොමැති බවයි ඔහු එහිදී සඳහන් කළේ.
මධ්‍යම ආණ්ඩුවට සහ පළාත් සභාවලට මුදල් යෙදවිය හැක්කේ විසර්ජන පනත නීතිය ප්‍රකාරව පමණක් බවත්, තැන්පත් ගිණුමකට මුදල් යෙදවිය හැක්කේ ඉඩ ලබාදුනහොත් පමණක් බවට එම පනතේ කොතැනකවත් සඳහන් කර නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු පවසන්නේ, පාර්ලිමේන්තුවේ හෝ පළාත් සභාවේ විසර්ජන පනතකින් ඉඩ ලබා නොදෙන්නේ නම්, මුදල් තැන්පත් ගිණුම්වල යෙදවිය නොහැකි බවයි.
මේ අතර, අල්ලස් කොමිසමේ ඇති ලිපිගොනු වෙනත් පාර්ශවලට පෙන්වීම සම්බන්ධයෙන් තමන් අල්ලස් කොමිසමට විරෝධතාව ප්‍රකාශ කළ බවද රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා විසින් පසුගිය දිනක තමා අල්ලස් කොමිසමට යොමු කළ ලිපියක් සම්බන්ධයෙන් මැතිවරණ රැළියකදී ප්‍රකාශයක් සිදු කළ බවත්, ඒ අනුව අල්ලස් කොමිසමේ ලිපි ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලා අරගන්නා බවට පෙනී යන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ දී සිදුවුවායැයි පැවසෙන දුෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබුණි.
මින් පෙර අවස්ථා දෙකකදී මෙලෙස අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත්, අවුරුදු සමය සහ සිය නීතීඥවරයා විදේශගතව ඇති බව කරුණු දක්වමින් ඔහු එහි පෙනී සිටියේ නැහැ.
රනිල් වික්‍රමසිංහ මහතා පිටව යාමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ ඒ මහතාගේ නීතිඥවරයා වූ ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා සඳහන් කළේ හිටපු ජනපතිවරයා අල්ලස් කොමිසමට පිටු 10ක කට උත්තරයක් ලබා දුන් බවයි.