2025 අප්‍රේල් 5 සිට 9 දක්වා උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් හිදී පැවැති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) 150 වැනි සමුළුව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහභාගී වූහ.
ජාත්‍යන්තර සබඳතා, සමාජ සංවර්ධනය සහ පාලනය කෙරෙහි බලපාන ප්‍රධාන කරුණු සාකච්ඡා කිරීම සඳහා ලොව පුරා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම සමුළුවේදී එක්රැස් වෙති. වර්තමානයේ ගෝලීය වශයෙන් මුහුණදීමට සිදුව ඇති තීරණාත්මක අභියෝග පිළිබඳව පැවැත්වෙන සාකච්ඡා සහ සැසිවාර සඳහා මෙහිදී මෙරට කථානායකවරයා ඇතුළු නියෝජිත පිරිස සක්‍රීය දායකත්වයක් ලබාදීම සිදුවිය. සාමාජික රටවල් ගණනාවක නියෝජිතයින් අතර අදහස් හුවමාරු කර ගැනීමට සහ ගෝලීය අභියෝග විසඳීම සඳහා උපාය මාර්ග සකස් කිරීමට මෙම සමුළුව හරහා ඉඩ සැලසෙයි. උස්බෙකිස්තානයේ ජනාධිපති ෂව්කට් මිර්සියෝයෙව් මහතා ද (Shavkat Mirziyoyev) සමුළුව ඇමතීම සිදුවිය.
“සමාජ සංවර්ධනය සහ යුක්තිය සඳහා පාර්ලිමේන්තුව” යන ප්‍රධාන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්විණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා 2025 අප්‍රේල් 6 වන දින ප්‍රධාන සමුළුව අමතමින්, ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නේය. සමාජ ආරක්ෂණය සහ මහජන සෞඛ්‍යය වැඩිදියුණු කිරීම, නිදහස් අධ්‍යාපනය නවීකරණය කිරීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අන්තර්කරණය ඉහළ නැංවීම සහ පරිපාලනය ශක්තිමත් කිරීම සඳහා රජයේ කැපවීම ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. එසේම පසුගියදා සම්මත කරන ලද 2025 අයවැයෙන් ඉස්මතු කර ඇති පරිදි, දූෂණය සහමුලින්ම පිටුදැකීමේ පාර්ලිමේන්තුවේ දැඩි ප්‍රතිපත්තිය ඔහු අවධාරණය කළේය. මෙම උත්සාහයන් රටේ සමාජ සංවර්ධනය සහ යුක්තිය ඉටුවීම සඳහා තීරණාත්මක බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේය
සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) හංසක විජේමුණි මහතා සාමය සහ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ස්ථාවර කමිටු රැස්වීමට සහභාගී වූ අතර, එහිදී ඔහු “පලස්තීනයේ ගැටුම් සම්බන්ධයෙන් විසඳුම් සෙවීමේදී පාර්ලිමේන්තුවල කාර්යභාරය” යන මාතෘකාව පිළිබඳ අදහස් දැක්වීය. සාමය හා ආරක්ෂාව ස්ථාපිත කරමින් ඊශ්‍රායල-පලස්තීන ගැටුම සඳහා රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් කඩිනමින් ලබා ගැනීමේ අවශ්‍යතාවය ඔහු පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුෂ්කා තිලකරත්න මහත්මිය, සමුළුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර තිරසාර සංවර්ධනය පිළිබඳ ස්ථාවර කමිටුවට ක්‍රියාකාරීව සහභාගී වූවාය. “තිරසාර සංවර්ධනය කෙරෙහි සන්නද්ධ ගැටුම් ඇතුළුව ගැටුම්වල දිගුකාලීන බලපෑම අවම කිරීම සඳහා පාර්ලිමේන්තු උපාය මාර්ග” යන තේමාව ඔස්සේ ඇය කරුණු දැක්වූවාය. පශ්චාත් ගැටුම් සමාජවල දිගුකාලීන සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අත්දැකීම් සහ ප්‍රතිපත්ති පිළිබඳව ද ඇය පෙන්වා දුන්නාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා විසින් ජාත්‍යන්තර වශයෙන් නීති විරෝධී ලෙස දරුකමට හදා ගැනීමේ වින්දිතයින් හඳුනා ගැනීම, ඔවුන්ට සහාය වීම සහ මෙම තත්ත්වය වැළැක්වීමට පියවර ගැනීම යන තේමාව යටතේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් පිළිබඳ ස්ථාවර කමිටුව ආමන්ත්‍රණය ලදී. අවධානමට ලක්විය හැකි දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සහ ජාත්‍යන්තරව දරුකමට හදා ගැනීමේ ක්‍රමවේදය සදාචාරාත්මක හා විනිවිදභාවයෙන් යුතු බව සහතික කිරීම සඳහා පියවර ගැනීමේ අවශ්‍යතාව ඒ මහතා අවධාරණය කළේය.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, පාර්ලිමේන්තු මහලේකම්වරුන්ගේ සංගමයේ (ASGP) සාකච්ඡා සඳහා සහභාගීවූ අතර, එහිදී ඇය ආබාධිත පුද්ගලයින් සඳහා පාර්ලිමේන්තුවේ ප්‍රවේශය වැඩිදියුණු කිරීම පිළිබඳව කරුණු ඉදිරිපත් කළාය. ඒ අනුව සභා ගර්භයේ සහ කාරක සභාවල පාර්ලිමේන්තු කටයුතු සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවය ඇය අවධාරණය කළාය. එසේම ආබාධිතභාවය නොසලකා සියලුම පුරවැසියන් සඳහා ප්‍රවේශය සහ සමාන සහභාගීත්වයක් සහතික කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය පියවර මහලේකම්වරිය හදුන්වා දුන්නාය.
ගෝලීය ගැටලු පිළිබඳ අවධානය යොමු වූ අන්තර් පාර්ලිමේන්තු සංසදයේ 150 වන සමුළුවට අදාළ සාමය, ආරක්ෂාව, මානව හිමිකම් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවලදී ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම විසින් ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන ලදී. 2025 අප්‍රේල් 9 වන දින පැවති පාලක මණ්ඩල රැස්වීමත් සමඟ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 150 වැනි සමුළුව සාර්ථකව අවසන් විය.