Homeදේශීයරජයන් බලයට පත්වූ වහාම මන්ත්‍රීවරු මියයන්නේ කොහොමද?

රජයන් බලයට පත්වූ වහාම මන්ත්‍රීවරු මියයන්නේ කොහොමද?

මෑත කාලීන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය පිරික්සීමේ දී ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ආණ්ඩුවේ ධුර කාලය ආරම්භ වී කෙටි කලක් ඇතුළත හදිසියේ ජීවිතක්ෂයට පත්වූ ආකාරයේ පුවත් රැසක් වාර්තා වී තිබේ.

මෙය යම්කිසි රටාවක් ආකාරයට සිදුවන්නක්දැයි යන සැකය පැනනැගී ඇති අතර ඇතැමුන් පවසන්නේ එය පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායික ශාපයක් බවය.

1994 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග රජය බලයට පත්වීමත් සමගම ඉතා කෙටි කලක් ඇතුළත එවකට පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත් වූ ග්‍රොඩ්පි ප්‍රනාන්දු මහතා මිය ගියේය. ඔහු ජීවිතක්ෂයට පත්වුයේ පාර්ලිමේන්තුවට එන අතරතුර රිය අනතුරකට ලක්වීමෙනි.

ඉන් අනතුරුව 2000 වසරේ පැවති මහ මැතිවරණයේදී ඡන්දය පැවති ඔක්තෝබර් 10 වන දිනයේදී සිය ඡන්දය දමා එන අතරමගදී හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අභාවප්‍රාප්ත විය.

ඒ වන විට සිරිමාවෝ මැතිනිය ක්‍රියාකාරී දේශපාලනයට සමුදී මාස 2ක් වත් ගත නොවීය. කෙසේවෙතත් ඒ වන විට ඇය පක්ෂයේ පරමාදර්ශී ජ්‍යෙෂ්ඨ නායිකාවකි.

2000 වසරේ පත් වූ චන්ද්‍රිකාගේ දෙවැනි ආණ්ඩුවට වැඩි ආයුෂ නොවූ අතර එය 2001 වසරේ දී බිඳ දමන්නට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සමත්වූයේ චන්ද්‍රිකා රජයේ එවකට බලකණු වූ එස්.බී. දිසානායක ඇතුළු පිරිසක් සිය පක්ෂය සමඟ එක්කර ගනිමිනි.

කෙසේවෙතත් එවකට එජාප උපනායකයාව සිටි සහ එම රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වූ ගාමිණී අතුකෝරාල මහතා තම පක්ෂය බලයට පැමිණ ටික දිනකට පසු, එනම් 2001 දෙසැම්බර් 31 දින රාත්‍රියේ නව අවුරුදු උදාව සමරනු වස් පැවති උත්සවයකින් පසු හදිසියේ ජීවිතක්ෂයට පත්විය. ඒ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙනි.

2001 වසරේදී බලයට පත්වූ එජාප රජයට සිය පූර්ණ කාලය පුරාවට බලය පවත්වා ගැනීමට නොහැකි වූයේ ජනතා විමුක්ති පෙරමුණේ සහායෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පෙරටුකරගත් පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් නව සන්ධානයක් පිහිටුවා ගැනීමය.

පාර්ලිමේන්තු බලය රනිල් ප්‍රමුඛ එජාපය සතු වුවද විධායකය ඒ වන විටත් චන්ද්‍රිකා සතුව පැවති හෙයින් ඇය සතු වූ බලතල පාවිච්චි කරමින් පැවති එජාප රජය විසුරා හැරීමට ඈ පියවර ගත්තාය.

2004 අප්‍රේල් 02 වැනි දින පැවති එම මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළ අතර එහිදී අගමැති ධූරය එවකට විශිෂ්ඨ දේශපාලඥයෙකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයෙකුද වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා වෙත හිමි වෙතැයි බොහෝ අය කල්පනා කළහ. කෙසේවෙතත් පක්ෂ අභ්‍යන්තර සහ සන්ධාන අභ්‍යන්තර එකඟතා හමුවේ ඒ අවස්ථාවේ දී අගමැති ධූරය මහින්ද රාජපක්ෂ වෙත පිරිනමනු ලැබීය.

එම රජයේ විදේශ අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා 2005 වසරේ අගෝස්තු 11 දින සාහසිකයෙකු අතින් සිය නිවසේ දී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය විය.

2004 වසරෙන් පසු මහමැතිවරණයක් පැවතියේ 2010 වසරේ දීය. එය මහින්ද රාජපක්ෂ මහතා විසින් යුද ජයග්‍රහණයෙන් අනතුරුව සිය දෙවන ජනාධිපති ධූර සමය ද තහවුරු කරගනිමින් සිටි අවධියයි. එහිදී 2/3 ක පාර්ලිමේන්තු බලයක් අපේක්ෂාවෙන් මැතිවරණ ව්‍යාපාරයේ යෙදුණු මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු ආසන 144 ක් ලබාගත්තේය. එහිදී මන්ත්‍රීවරුන් 150ක 2/3ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ මෙහෙයුම ජයටම සිදුකෙරුණු අතර ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් තරඟ වැදුණු මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී නූර්දීන් මසූර් මන්ත්‍රීවරයා ද මහින්දට සහාය පළකරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්විය. කෙසේවෙතත් ඒ මහතාට වැඩි කළක් ආණ්ඩු පක්ෂය නියෝජනය කිරීමට නොහැකි වූයේ 2010 දෙසැම්බර් 02 දින හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වීම හේතුවෙනි.

ඉන් අනතුරුව පැවතියේ 2015 ජනාධිපතිවරණයයි. එහිදී මහින්ද රාජපක්ෂ රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන, මහින්දට එදිරිව ජනාධිපති සටහනට පිවිසියේ එවකට විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ ආනුභාවය ද සමගිනි. එහිදී ඔහුට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ ද සහාය ලැබුණි. එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා ද ඒ අතර විය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බවට පත්වීමත් සමඟම ඉඩම් අමාත්‍යවරයා ලෙසින් ගුණවර්ධන මහතා පත්වුව ද, 68 වැනි වියෙහි පසු වූ ඔහු 2016 ජනවාරි 16 දින අභාවප්‍රාප්ත වූයේ යහපාලන රජයේ පාර්ලිමේන්තු ශාපයේ බිල්ලට හසුවෙමිනි.

යහපාලන රජයේ අවසානයත් සමඟ 2019 නොවැම්බර් 16 වනදා පැවති ජනාධිපතිවරණයෙන් පසු බලයට පත්වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරය දැරූ පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු රජයයි. කෙසේවෙතත් ඒ වන විට එම රජයේ ප්‍රබලයෙකු වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටිය දී 2019 දෙසැම්බර් 04 දින අභාවප්‍රාප්ත වූ බව අසන්නට ලැබුණි. එවිට ඔහුගේ වයස අවුරුදු 57කි.

ඉන් අනතුරුව බලයට එන්නේ වත්මන් ජාතික ජන බලවේග රජයයි. ඉහත කී රටාව යළිත් වරක් සපථ කරමින් 2024 දෙසැම්බර් 21 දින පැවති මහ මැතිවරණයේ දී කෑගල්ල දිස්ත්‍රික්කයට තරඟ කර ජයග්‍රහණය කළ කෝසල නුවන් ජයවීර මහතා පාර්ලිමේන්තුවට පත් වී මාස 04ක්වත් ඉක්ම යන්නට මත්තෙන් පසුගිය අප්‍රේල් 06 වැනිදා සිය දිවිසැරිය නිම කරන්නේ පාර්ලිමේන්තු ශාපයට ගොදුරු වූ ලාබාලතමයා බවට පත්වෙමිනි. මිය යන විට ඔහු 38 වැනි වියේ පසුවිය.

RELATED ARTICLES

Most Popular

Recent Comments