Homeදේශීයජන හා නිවාස සංගණනය 2024 සහ වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024 ජනපතිට

ජන හා නිවාස සංගණනය 2024 සහ වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024 ජනපතිට

මෑත ඉතිහාසයේ මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙහි ස්ථායි ප්‍රගතිය පෙන්වා දෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුව එහි මුඛ්‍ය ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024 (AER 2024) ජනාධිපතිවරයා වෙත පිළිගන්වා ඇත.

මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී වාර්තාව මෙලෙස නිල වශයෙන් පිළිගන්වන ලදී.

වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024, සාර්ව-ආර්ථික සංවර්ධනය, මූල්‍ය පද්ධතිමය කොන්දේසි, මහ බැංකුවේ ප්‍රතිපත්ති සමාලෝචනය සහ සාර්ව ආර්ථික ඉදිරි දැක්ම යන ප්‍රධාන පරිච්ඡේද හතරකින් සමන්විතය.

මෙම සමාලෝචනයට අනුව, වසර දෙකකට පෙර අත්විඳින්නට සිදු වූ දරුණු ආර්ථික අර්බුදයෙන් පසුව, 2024 වසරේදී සැලකිය යුතු ලෙස යළි යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කර ඇති ශ්‍රී ලංකා ආර්ථිකය, අභියෝග මධ්‍යයේ වුවද, ණය බරින් පීඩාවට පත් අනෙකුත් බොහෝ රටවලට වඩා වැඩි වේගයකින් යළි යථා තත්ත්වයට පත්වීමේ මාර්ගයට පිවිස ඇත. මෙම වාර්තාවේ සඳහන් ප්‍රධාන ධනාත්මක දර්ශක අතර ආර්ථික ක්‍රියාකාරකම් වැඩිදියුණු වීම, ක්‍රය ශක්තිය පාර්ශ්විකව හෝ ප්‍රතිෂ්ඨාපනය වීම සහ අවිනිශ්චිතතාවෙහි අඩුවීම යනාදිය වේ.

මේ අතර ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ “ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව භාර දීම ජනාධිපති කාර්යාලයේදී අද සිදු කෙරිණි.

2024 ඔක්තෝම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා දිවයින පුරා රැස් කරන ලද දත්ත පදනම් කරගනිමින් මෙම සංගණන මූලික වාර්තාව සකස් කර ඇත.

ශ්‍රී ලංකාවේ ජනගහනය, ජනගහනයේ වර්ධනය සහ දිස්ත්‍රික්ක අනුව ජනගහනය ව්‍යාප්තව සිටින ආකාරය පිළිබඳ මෙම සංගණන වාර්තාවේ සඳහන් වේ.

සංගණනය මඟින් රැස් කරන ලද තොරතුරු ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමට, රජයට වෙන්ව අනෙකුත් ආයතන සඳහාද ඉතා වැදගත් වේ. සංගණන ඉතිහාසයේ ප්‍රථම වරට දත්ත රැස් කිරීම ටැබ්ලට් පරිගණක හා සුහුරු ජංගම දුරකථන භාවිතා කරමින් සිදු කර තිබීම ද විශේෂත්වයකි.

RELATED ARTICLES

Most Popular

Recent Comments