ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද පස්වරුවේ මෙරටට පැමිණීමට නියමිත ය.
ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය අප්‍රේල් 05 වන දා පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වේ.
ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා සමග ඉන්දියානු විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ඇතුළු නියෝජිත පිරිසක් ද මෙම සංචාරයට එක් වේ.
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, එදින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමටත්, ද්විපාර්ශ්වික නියෝජිතයන් අතර පැවැත්වෙන හමුවට සහභාගී වීමටත් සැලසුම් කර තිබේ.
මෙහිදී බලශක්ති, ඩිජිටල්කරණ, ආරක්ෂක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළව අවබෝධතා ගිවිසුම් සහ ඉන්දියාව සමග ණය ප්‍රතිව්‍යුගතකරණයට අදාළ ගිවිසුම් හුවමාරු කර ගනු ඇත.
ඉන්දියානු සහයෝගීතාවෙන් සිදු කෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීමත්, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ හැකි මෙට්‍රික් ටොන් 5,000ක ධාරිතාවකින් යුත් දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය (ශීතාගාර ව්‍යාපෘතිය) හා ඉන්දියානු පරිත්‍යාගයක් ලෙස ලැබුණු ආගමික ස්ථාන 5,000ක හෙවිලි මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය විවෘත කිරීමත් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙහිදී සිදු කෙරේ.
එසේම ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගැනීමටත්, ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ස්ථාපිත කරන ලද මහව-අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය සහ නවීකරණය කරන ලද මහව – ඕමන්ත දුම්රිය මාර්ගය නිල වශයෙන් විවෘත කිරීමටත් සැලසුම් කර ඇත.
අප්‍රේල් 06 වන දින පස්වරුවේ ශ්‍රී ලංකා සංචාරය නිල වශයෙන් නිම කරමින් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර කොළඹින් වීදි සුනඛයන් ඉවත්කරන බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතික්ෂේප කර තිබේ.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් එම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සඳහන් කර ඇත.
“අපි කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර එය සම්පූර්ණ බොරුවක්,” ඔහු පවසා තිබේ.
“මෙය සිදු වූයේ කොහේදැයි අපි විරෝධතාකරුවන්ගෙන් විමසුවා. ඔවුන්ට කිසිදු තොරතුරක් ලබාදීමට නොහැකි වුණා” ඔහු සඳහන් කර ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය සඳහා විශේෂ ආරක්ෂක පියවර ගෙන ඇති බව එම නිලධාරියා තහවුරු කර ඇති නමුත් විරෝධතාකරුවන් පවසන පරිදි එවැනි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව අවධාරණය කර තිබේ.
සත්ව හිමිකම් ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූ අතර, නගරය තුළ සහ අවට වීදි සුනඛයන් ඉවත්කිරීමට උත්සාහ බවට චෝදනා කළහ.
නගරය ‘අලංකාර කිරීමට’ හෝ සමහර විට ඉන්දීය නායකයාගේ සංචාරය පිළිබඳ ආරක්ෂක ගැටළු නිසා සුනඛයන් ඉවත්කර ඇති බව පවසමින් විරෝධතාකරුවෝ බැනර් සහ පුවරු ප්‍රදර්ශනය කළහ. තම පරිපාලනය තුළ අනුමත කරන ලද සියලුම පුනර්ජනනීය බලශක්ති යෝජනා සම්පූර්ණ ඇගයීම් ක්‍රියාවලියකට භාජනය වූ බවත් ඒවා මූල්‍ය හෝ දේශපාලනමය වශයෙන් බලපෑමට ලක් නොවූ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
අනුමැතියට පෙර සෑම යෝජනාවක්ම සමාලෝචනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ කැබිනට් මණ්ඩලය විසින් කමිටු පත් කරන ලද බව ඔහු පෙන්වා දුන්නේය.
“මෙම කමිටු වාර්තා මත පදනම්ව අවසාන මිල ගණන් තීරණය කෙරුණා. සියලුම තීරණ නිල මාර්ග හරහා ගන්නා බවට අපි සහතික වුණා,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
“සියලුම මූලික අධ්‍යයන, ශක්‍යතා තක්සේරු කිරීම් සහ බලපත්‍ර පිරිවැය එක් එක් ව්‍යාපෘතිය සඳහා ඒවායේ නිශ්චිත තත්ත්වයන් අනුව වෙනස් ලෙස හසුරුවා තිබුණා,” යනුවෙන් ඔහු පැවසුවේ, අදානි මෙම ක්‍රියාවලීන් කිහිපයකට ස්වාධීනව අරමුදල් සැපයිය යුතුව තිබු බව සඳහන් කරමිනි.
මුදල් බලපෑම් මත මෙම ව්‍යාපෘති මෙහෙයවූ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ, යමෙකු මුදල් ලබා ගත් බව කියා සිටින්නේ නම්, ඔවුන් මුදල් ලබා දුන්නේ කවුරුන්ද යන්න ද සඳහන් කළ යුතු බවයි.
“අදානි අල්ලස් දුන් බවට යෝජනා කරනවාද? අදානි ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ නීති උල්ලංඝනය කළ බව අපි කියනවාද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී එවැනි කරුණු දේශපාලනීකරණය නොකළ යුතු බවත්, පදනම් විරහිත චෝදනා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට හානි කළ හැකි බවටත් ඔහු අනතුරු ඇඟවීය.
“2023 සහ 2024 දී නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයන්ට අනුකූලව මෙම ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සහ ශ්‍රී ලංකා-ඉන්දියානු සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අපි අවධානය යොමු කළ යුතුයි,” යැයි ඔහු පැවසීය.
රජය ඉන්දියාව සමඟ බලශක්ති සහයෝගීතාව සම්බන්ධයෙන් අඛණ්ඩව කටයුතු කරන බව වික්‍රමසිංහ නැවත තහවුරු කළ අතර, ව්‍යාපෘති නැවැත්වීමට ගන්නා ඕනෑම තීරණයකට වලංගු හේතු තිබිය යුතු බව අවධාරණය කළේය.