Homeදේශීයමුලසුන දරන හැටි ඉගෙන ගන්න වැඩමුළුවක්

මුලසුන දරන හැටි ඉගෙන ගන්න වැඩමුළුවක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා ඇතුළු සභාගර්භයේ මුලසුන සඳහා නම්කරන ලද මන්ත්‍රීවරුන්ට අත්දැකීම් හුවමාරු වැඩමුළුවක්

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) විසින් සංවිධානය කරන ලද කථානායකවරයා ඇතුළු මුලසුන දැරීම සඳහා නම් කරන ලද මන්ත්‍රීවරයන්ට (සභාපති නාමාවලියේ සඳහන් මන්ත්‍රීවරයන්ට) අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැඩමුළුවක් මීගමුවේ හෝටලයකදී සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහ එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් අතර පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි ශක්තිමත් කිරීමට අදාළව සාකච්ඡාවල නිරත වීමට මෙහිදී අවස්ථාව හිමිවිය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න, නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙම වැඩසටහනට සහභාගී වූහ.

එක්සත් රාජධානිය නියෝජනය කරමින් එරට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ජුඩිත් කමින්ස් (Ms. Judith Cummins), එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කථානායක ඩෝන් ප්‍රිමරොලෝ (Ms. Dawn Primarolo), සහ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ හිටපු සභාපතිවරයෙක් වූ කෙනත් ඩොනල්ඩ් මැකින්ටොෂ් (Mr. Kenneth Donald Macintosh) යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ සහකාර මහලේකම් හංස අබේරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු නිලධාරීන් ද සාකච්ඡා සඳහා සහභාගී වූහ.

මෙම වැඩමුළුවේදී, එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවලට අදාළව මූලාසනය දරන සභාපතිවරුන්ගේ භූමිකාව පිළිබඳ කරුණු ආවරණය කරන ලදී. පාර්ලිමේන්තුවේ මුලසුන සඳහා නම්කරන ලද මන්ත්‍රීවරයන්ගේ භූමිකාවේ ඉතිහාසය සහ පරිණාමය මෙන්ම කාල කලමනාකරණය, සම්මුතීන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සමඟ පවත්වාගනු ලබන සබඳතා වැනි ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. ඊට අමතරව, ව්‍යවස්ථාදායක කටයුතු කළමනාකරණය කිරීමේදී ඇතිවන අභියෝග සහ අවස්ථා එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේ ප්‍රායෝගික උදාහරණ සමඟින් මෙහිදී සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, මෙරට පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන්, ස්ථාවර නියෝග, සහ සම්මුතීන් පිළිබඳ පුළුල් පැහැදිළි කිරීමක් මෙහිදී සිදු කළාය.

කථානායකතුමා, නියෝජ්‍ය කථානායකතුමා, කාරක සභා සභාපතිතුමිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්සත් රාජධානියේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවලදී මෙරට පාර්ලිමේන්තුවේ මුලසුන සඳහා නම්කරන ලද මන්ත්‍රීවරයන්ගේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා පාර්ලිමේන්තු මෙහෙයුම්, ක්‍රියා පටිපාටි සහ භාවිතයන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට මෙමගින් අවකාශය සැලසිණි.

වැඩසටහනේ දෙවන දිනයේදී, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා ද මෙම සාකච්ඡාවලට එක් විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments