ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාර වේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩසටහන නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ‘පැලැස්ස’ ආපනශාලාවේදී ක්‍රියාවට නැංවිණි.
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහාය ලබාගනිමින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සමඟ ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.
මේ අනුව රුපියල් දෙසීයක් වැනි අඩු මිලකට පෝෂණයෙන් සපිරි විශේෂ ආහාර වේලක් භුක්ති විඳීමට ජනතාවට අවස්ථාව උදාවේ.
මෙම පෝෂ්‍යදායී සමබල ආහාර වේල ඇතුළත් වට්ටෝරුව ඉදිරියේදී රජයේ සහ පෞද්ගලික සියලු ආපනශාලා වෙත හඳුන්වාදීමට නියමිතය.
ඇසුරුම් කළ දේශීය ආහාර වර්ග මෙන්ම පෝෂ්‍යදායී කෙටි ආහාර වර්ගද, මෙහිදී පහසු මිලට ජනතාවට ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ.
මෙම අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත එක් වූ අතර, ඇමැතිවරයා සඳහන් කළේ, ජනතාවට ගුණාත්මක, සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රමාණාත්මක ආහාර වේලක් ලබාගැනීමට අවස්ථාව සැලසීම අත්‍යවශ්‍ය බවයි.
ඒ වෙනුවෙන් මඟපෙන්වීම සහ වෙළෙඳ ප්‍රජාව තුළ ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සමග ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව අමාත්‍යවරයා පැවසීය. අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජ ලබා දීමේ වැඩසටහනේ ආරම්භය අද සනිටුහන් විය.
මෙම බෙදාහැරීම අප්‍රේල් 13 වැනි දින දක්වා අඛණ්ඩව සිදු කෙරේ.
එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේදී ජීවන වියදම අඩු කිරීම සහ මහජනතාවට ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයන්ට මෙම පැකේජ බෙදා හරින බවයි.
දිවයින පුරා පිහිටි ලංකා සතොස සහ සමුපකාර අලෙවිසැල්වලින් මෙම ආහාර පැකේජ ලබාගත හැකිය.
ඒ අනුව, රුපියල් 5,000ක් වටිනා ආහාර පැකේජයක් රුපියල් 2,500කට ආසන්න මුදලකට ලබාගත හැකිය.
දැනට අස්වැසුම ප්‍රතිලාභීන් 812,000ක් පමණ සිටින අතර, අස්වැසුම ප්‍රතිලාභ සඳහා අලුතින් අයදුම් කළ අයගෙන් සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ට ද එය ලැබෙන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.
සුදුසුකම් ලත් අයට මෙම ප්‍රතිලාභය නිසි ලෙස බෙදා හැරීම සහතික කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වේ.
මුදල් අමාත්‍යාංශය, ආහාර ප්‍රතිපත්ති සහ ආරක්ෂක කමිටුව සහ සමුපකාර අලෙවිසැල් ජාලය එක්ව ‘සතුටින් සතොසින්’ යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.