Homeදේශීයසම්බාධක ගැන මහින්ද,කරුණා,කරන්නාගොඩ සහ හියුමන් රයිට්ස් වොච් ප්‍රතිචාර දක්වයි

සම්බාධක ගැන මහින්ද,කරුණා,කරන්නාගොඩ සහ හියුමන් රයිට්ස් වොච් ප්‍රතිචාර දක්වයි

බ්‍රිතාන්‍ය රජය තමා හට සම්බාධක පැනවීම දේශපාලන නාට්‍යයක් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා.

ඔහු ඒ බව සඳහන් කළේ කල්කුඩා මැතිවරණ කොට්ඨාසයේ පැවැති දේශපාලන රැස්වීමකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විනයාගමූර්ති මුරලිදරන් මහතා,

“අපි සන්ධානය පිහිටුවා ගැනීම ලොව පුරා කතාබහට ලක්වන මාතෘකාවක්. බ්‍රිතාන්‍ය රජය මාව තහනම් කළා. එය මීට පෙර කිසිදා සිදු නොවූ ක්‍රියාවක්. මේක දේශපාලන නාටකයක් කියලා මම කියනවා. 2006දී මාව බ්‍රිතාන්‍ය රජය විසින් අත්අඩංගුවට අරගෙන මාස 8ක් සිරගත කළා. එහිදී සොයා නොගත් චෝදනාවක් බ්‍රිතාන්‍ය රජය දැන් සොයාගෙන තිබෙනවා. ඒ වෙලාවේ ආණ්ඩුවට මොනවගේ දෙයක් ද කරන්න පුළුවන්කම තිබුණේ. නමුත් ඔවුන් මාව රාජකීය ගෞරවයෙන් කටුනායක ගුවන්තොටුපොළට ආරක්ෂිතව අරන් ආවා. කරුණා අම්මාන් වැරැද්දක් කරලා තියෙනවා කියලා බ්‍රිතාන්‍ය රජයට දැන් වැටහිලා තියෙනවා. මේ සියල්ල නැගෙනහිර දෙමළ ජනතාවගේ පැවැත්ම කොල්ලකෑමේ උත්සාහයක් බව කියන්න පුළුවන්. ඇතැම් අය මේ සඳහා සහයෝගය දෙනවා. ‘ඵල දරන ගසකට ගල් ගහනවා’ කියන පරිදි ජයග්‍රහණයේ ලකුණ දෘශ්‍යමානයි.”

ශ්‍රී ලංකාව වගවීම සාක්ෂාත් කර ගැනීමට කිසිදු උත්සාහයක් නොගන්නා තාක් කල්, එල්ටීටීඊයට එරෙහි ශ්‍රී ලංකා හමුදා මෙහෙයුම්වලදී සිදු වූ බවට චෝදනා එල්ල වන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම සඳහා අන්තර්ජාතික පියවර අත්‍යවශ්‍ය බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු හමුදාපති ජගත් ජයසූරිය සහ ‘කරුණා අම්මාන්’ ලෙස හඳුන්වන විනයාගමූර්ති මුරලිදරන් යන අයට එරෙහිව සංචාරක තහනම් කිරීම් සහ වත්කම් අත්හිටුවීම ඇතුළු සම්බාධක පැනවීමට එක්සත් රාජධානියේ රජය විසින් මෑතකදී ගත් තීරණය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් හියුමන් රයිට්ස් වොච් ප්‍රකාශ කළේ, විදේශීය රජයන් ඉලක්කගත සම්බාධක පැනවීම දිගටම කරගෙන යා යුතු බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ‘ශ්‍රී ලංකා යුද අපරාධ සැකකරුවන්ට’ නඩු පැවරීමට රැස්වී ඇති බවට සාක්ෂි භාවිත කළ යුතු බවත්ය.

තවද, අන්තර්ජාතික බලපෑම්සහගත රාජ්‍ය නොවන සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් පවසන්නේ, “රටේ සිවිල් යුද්ධයේදී කුරිරුකම්වලට සම්බන්ධ පුද්ගලයන් හතරදෙනෙකුට” සම්බාධක පැනවීමෙන් එක්සත් රාජධානියේ රජය ශ්‍රී ලංකාවේ වගවීම ඉදිරියට ගෙන ගොස් ඇති බවයි.

සඳුදා (24) එක්සත් රාජධානියේ රජය, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු හමුදාපති ජගත් ජයසූරිය සහ ‘කරුණා අම්මාන්’ ලෙස හඳුන්වන විනයාගමූර්ති මුරලිදරන් යන අයට එරෙහිව සම්බාධක පනවා ඇති අතර, ඔවුන් ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේදී සිදු වූ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සහ උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු බවට චෝදනා කර ඇත.

මෙම තීරණයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය කියා සිටියේ මෙය එක්සත් රාජධානියේ රජය විසින් ගනු ලැබූ “ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගයක්” බවත්, රටවල් විසින් සිදුකරන එවැනි ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාතික සංහිඳියා ක්‍රියාවලියට සහාය වීම නොව සංකීර්ණ කිරීම සඳහා සේවය කරන බවත්ය.

මේ අතර, එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂද එල්ටීටීඊය සමඟ යුද්ධයේදී ‘ඔප්පු නොකළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා’ මත මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවට එක්සත් රාජධානියේ රජය ගත් තීරණය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළේය.

2004 දී එල්ටීටීඊ සංවිධානයෙන් වෙන් වී පසුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘කරුණා අම්මාන්’ ට සම්බාධක පැනවීම, එක්සත් රාජධානියේ දෙමළ ඩයස්පෝරාවේ ප්‍රමුඛ කොටස සන්සුන් කිරීම සඳහා එල්ටීටීඊ විරෝධී දෙමළ ජනතාවට දඬුවම් කිරීමේ පැහැදිලි අවස්ථාවක් බවට මහින්ද රාජපක්ෂ චෝදනා කළේය. තමාට සහ අනෙකුත් හමුදා ප්‍රධානීන් දෙදෙනාට එක්සත් රාජධානිය පනවා ඇති සම්බාධක කිසිදු විනිවිද පෙනෙන විමර්ශනයක් හෝ නීතිමය ක්‍රියාමාර්ග මත පදනම්වූවක් නොවන බව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පවසනවා.

ඒ අනුව පනවා ඇති සම්බාධකවලට ප්‍රතිචාර ලෙස කරන්නාගොඩ මහතා පවසා සිටින්නේ, යුද පිටියේදී මෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණුවලදී ද බාහිර මැදිහත්වීමකට එරෙහිව රට ආරක්ෂා කිරීමේදී ද ස්ථීරව සිටිමින් ඊට මුහුණදුන් තමන්ට එක්සත් රාජධානිය පනවා ඇති අයුක්ති සහගත සම්බාධකවලට මුහුණදීමට සිදුවී ඇති බවයි.

මෙම සම්බාධක කිසිදු විනිවිද පෙනෙන විමර්ශනයක් හෝ නීතිමය ක්‍රියාමාර්ග මත පදනම්වූවක් නොවන අතර, ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණයේ ප්‍රධාන භූමිකාවක් ඉටුකළ පුද්ගලයින් ඉලක්ක කරගනිමින් සිදුකරන ජාත්‍යන්තර බලපෑමක් බව ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments