Homeදේශීයකතරගම බස්නායක නිළමේගේ නිවස පරීක්ෂා කෙරෙයි

කතරගම බස්නායක නිළමේගේ නිවස පරීක්ෂා කෙරෙයි

කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගේ මාතර පිහිටි මහගෙදර ඊයේ රාත්‍රී 11.00 ට පමණ පොලීසියෙන් වටළා ඇති බව වාර්තා වේ.

පොලිස් පරීක්ෂක එම්. ආර්. දයානන්දගේ නායකත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායම් දෙකක් මෙසේ කොළඹ සිට මාතර බලා ගොස් මහ රෑ එම නිවස වටළා ඇති අතර සෝදිසි වරෙන්තුවක් හෝ නොමැතිව එම නිවස සෝදිසි කර ඇතැයි වාර්තා වෙයි.

මෙම පොලිස් නිලධාරීන් සියලු දෙනාම සිවිල් ඇඳුමින් සැරසී එහි ගොස් ඇති අතර ඔවුන්ගේ හැඳුනුම්පත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියත් එය ද ප්‍රතික්ෂේප කරමින් නිවසට ඇතුළු වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

මේ අවස්ථාවේදී අදාළ නිවසේ සිට ඇත්තේ බස්නායක නිලමේවරයාගේ 84 හැවිරිදි මව පමණකි.

මේ සම්බන්ධයෙන් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර කියා සිටියේ, මෙම වැටලීම සම්බන්ධයෙන් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හෝ ප්‍රදේශය බාර මාලිම්බඩ පොලිසිය හෝ දැනුවත්ව නොසිටි බවයි.

අධිකරණය විසින් සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තම නිවසේ සැඟවී සිටින බවට ලැබුන තොරතුරක් මත ඉහල නියෝගයකින් ලැබුන උපදෙස් මත මෙම වැටලීම සිදුකර ඇතැයි පසුව දැනගන්නට ලැබුන බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

මේ සිදුවීම සිදුවන්නේ කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා අද පෙරවරුවේ කොළඹ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට නියමිතව තිබියදී වීම විශේෂත්වයකි.

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා මේවනවිට පොලිස් කණ්ඩායම් 6 ක් යොදවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ, ඊට අදාළ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 28 වැනිදා වරෙන්තු නිකුත් කළේ ය.

ඒ, 2023 දෙසැම්බර් 31 වැනිදා මාතර පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළවයි.

අනතුරුව ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවේය.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් දිගින් දිගටම අධිකරණ නියෝගය මගහරින්නේ නම් ඔහුගේ දේපොළ තහනම් කිරිමට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල පවසයි.

ඔහු ඒ බව පැවැසූවේ මෝදර දී පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ නීත්‍යාණුකූල ලෙස එම වැටලීම සිදුකළේ නම් හිටපු පොලිස්පති දේශබන්දුට සැඟවී සිටීමට හේතුවක් නොමැති බවත් වත්මන් රජයට ඔහු ලොක්කකු නොවන බවත්ය.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශාල දේපොළ ප්‍රමාණයක් ඇති බවත් ඒවා කෙසේ උපයා ගත්තේද යන්න තමා නොදන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

නීතිය ක්‍රියාත්මක කිරීමට තරාතිරම අදාළ නොවන බව ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments