අප්‍රේල් මස 18 දින සිට 27 දින දක්වා පැවැත්වෙන දළදා දැක්ම නැරඹීමට අවම තරමින් ලක්ෂ 20 ක පමණ බැතිමතුන් සංඛ්‍යාවක් මහනුවරට පැමිණෙනු ඇති බවට අනුමාන කෙරෙන බව දළදා දැක්මේ සංවිධාන කටයුතු සම්බන්ධව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.
දින 10 තුළ දළදා දැක්ම පැවැත්වෙන කාලසීමාවේදී තත්ත්පරයට තිදෙනා බැගින් දළදා වහන්සේ වන්දනා කරන බවට අනුමාන කළත් එම කාලය තුළ දළදා මාලිගය තුළට ඇතුළු වීමට හැකියාව ඇත්තේ ලක්ෂ 06 ක පමණ පිරිසකට බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක පැවැසීය.
මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන හැකි තරම් විශාල පිරිසකට දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව ලබාදිය යුතුව තිබෙන බවද ඔහු කීය.
මෙම සාකච්ඡාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන, මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික මහවෙල රතනපාල යන නාහිමිවරු ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
දළදා දැක්ම නැරඹීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීම, නගරය ආලෝක කිරීම, යටිතල පහසුකම් සපුරාලීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය. බැතිමතුන් සඳහා දන්සල් ලබාදීම සිදුකළ හැක්කේ නගර සභාවේ ලියාපදිංචි වීමෙන් පමණක් බව මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ කීය.
මහනුවර වැව රවුමේ සිට රතු බෝක්කුව දෙසින් මහාමායා බාලිකාව ඉදිරිපිටින් ද අවන්හල දෙස සිට උල්පැන් ගේ අසලින් වැව රවුමේ ඔස්සේ ද මහනුවර ඩී.එස්. සේනානායක වීදිය දෙසින් ද පෝලිම් තුනක් ඔස්සේ ජනතාව මහමළුවට ඇතුළු කර ගන්නා බවත් ඔවුන් සියලු දෙනා අවස්ථා දෙකකදී පරීක්ෂාවට ලක් කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවැසුවේය.
දළදා දැක්ම පැවැත්වෙන කාලසීමාවේදී මහනුවර නගරයේ පාසල් වසා තැබෙන බවත් ඒ වෙනුවට හිලව් ලෙස එම පාසල් පැවැත්වීමට තීරණය කර තිබෙන බවත් නගර සීමාවේ සියලුම මත්පැන් අලෙවිසල් හා මස් කඩ වසා දැමීමට ද තීරණය කර තිබෙන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන් කීය.