අලුතින් නාම යෝජනා කැඳවීමකින් තොරව දැනට නියම කර තිබෙන පරිදි මේ මස 19 වන දා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ප්‍රතික්ෂේප කළේ ය.
ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමේදී පැමිණිල්ලට ජයගත හැකි නඩුකරයක් පවතින බවට කරුණු තහවුරු නොවන බැවින් ඊට අදාළව ඉල්ලා තිබෙන වාරණ ආඥා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරමින් විනිසුරුවරයා එලෙස නියෝග නිකුත් කළේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරය සඳහා නාම යෝජනා භාරදුන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ එම නාම යෝජනාව ඉල්ලා අස්කරගෙන තිබීම හේතුවෙන් අලුතින් නාම යෝජනා කැඳවා නිලවරණය පැවැත්වීමට නියෝග කරන ලෙස ඉල්ලා නීතිඥ ලිලන්ති ද සිල්වා විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබිණි.
පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙනී සිටියේ ය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය සඳහා නාම යෝජනා භාර දුන් අපේක්ෂකයෙකු නිලවරණයට පෙර මියගිය විට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ව්‍යවස්ථාවට අනුව අලුතින් නාම යෝජනා කැඳවා නිලවරණය පැවැත්විය යුතු බව ත් ඒ අනුව සභාපති ධූරය සඳහා නාම යෝජනා භාරදුන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මේ වන විට සිය නාම යෝජනා ඉවත් කරගෙන ඇති අතර එය පොදුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට සිටින නීතිඥ ප්‍රජාවගේ අයිතිවාසිකම්වලට අගතිදායක ලෙස බලපාන බව ත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.
මෙම සභාපති ධූරය සඳහා තමා තරග කිරීමට සූදානම් යැයි ජනාධිපති නීතිඥ චන්දන ජයසුන්දර ප්‍රකාශ කර තිබුණද තමාට වඩා ජ්‍යෙෂ්ඨයෙකු වූ ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ ද ඉදිරිපත් වීමට තීරණය කිරීම නිසා නීතිඥ සංගමයේ සම්ප්‍රදායන්ට ඉඩ දෙමින් ජයසුන්දර මහතා නාම යෝජනා ඉදිරිපත් නොකිරීමට තීරණය කළ බව ජනාධිපති නීතිඥවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවේදී අලුතින් නාම යෝජනා කැඳවීමකින් තොරව නිලවරණය පැවැත්වීමට කටයුතු කළහොත් ඒ සඳහා තවදුරට ත් නාම යෝජනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට මෙන් ම නීතිඥ ප්‍රජාවටද දැඩි අසාධාරණයක් සිදුවන බවත් ඒ අනුව නීතිඥ ප්‍රජාවගේ අයිතිවාසිකම් රැකගැනීමේ අරමුණින් පමණක් මෙම නඩුකරය ඉදිරිපත් කළ බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය.
පෙත්සම්කාරිය ඉදිරිපත් කරන කරුණු තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බව මෙවර සභාපති ධූරය සඳහා නාම යෝජනා භාර දී සිටින නීතිඥ රජීව අමරසූරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ව්‍යවස්ථාවට අනුව මෙවැනි ඉල්ලීමක් සඳහා කිසිසේත්ම ඉඩ නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙය නීතිඥ සංගම් ඉතිහාසයේ ඉතාම අවාසනාවන්ත මෙන්ම කණගාටුදායක තත්ත්වයක් බවත් නාම යෝජනා ඉදිරිපත් කළ පුද්ගලයෙකු මියගිය අවස්ථාවක අලුතින් නාම යෝජනා කැඳවා නිලවරණය පැවැත්විය යුතු යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ව්‍යවස්ථාවේ සඳහන්ව තිබුණ ද එම තත්ත්වය නාම යෝජනා පත්‍රයක් ඉල්ලා අස්කර ගත් අවස්ථාවක අදාළ නොවන බවත් ජනාධිපති නීතිඥවරයා එහිදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකු වූ ජනාධිපති නීතිඥ සාලිය පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය ඉතා අසාධාරණ ඉල්ලීමක් බව ත් ඒ තුළින් සංගමයේ සාමාජිකත්වයට බරපතළ අගතියක් සිදුවන බව ත් සඳහන් කළේ ය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා එලෙස නියෝග නිකුත් කළේ ය.