1958 අංක 29 දරන සත්ත්ව පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත අද කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
මෙතෙක් ගවයන් සහ මී ගවයන් ප්‍රවාහනයේදී පමණක් බලපැවැත්වුණු නීතිමය රෙගුලාසි සහ අවසරපත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදය, මෙම නව සංශෝධනය හරහා ඌරන්, බැටළුවන් සහ එළුවන් සඳහා ද අනිවාර්ය කෙරේ.
රෝග සහිත සතුන් විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමෙන් සිදුවන ලෙඩ රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ සතුන්ගෙන් මිනිසුන්ට බෝවන රෝග අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේය. විශේෂඥ කාර්ය සාධක බලකායක නිර්දේශ මත මෙම සංශෝධන සකස් කර තිබේ.
සත්ත්ව සුභසාධන පනත් කෙටුම්පත සහ තහනම් කෙරෙන ක්‍රියා
වසර 119ක් පැරණි (475 වන අධිකාරය වූ) සතුන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීමේ ආඥාපනත අහෝසි කරමින් හඳුන්වා දෙන නව සත්ත්ව සුභසාධන පනත් කෙටුම්පත මගින් සතුන්ට කෲර ලෙස සැලකීම, වධහිංසා පැමිණවීම, අධික බර පටවා වැඩ කරවීම සහ චලනය වීමට ඉඩ නැති පරිදි කූඩු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
එසේම, සතුන්ට විෂ හෝ හානිකර ද්‍රව්‍ය ලබාදීම, කෙටි දම්වැල්වලින් බැඳ තැබීම, ආහාර හා ජලය හිමිකර නොදීම, උගුල් ඇටවීම සහ පක්ෂීන්ගේ පියාපත් කැපීම හෝ සිරකර තැබීම ද වරදක් ලෙස අර්ථ දක්වා තිබේ. පශු වෛද්‍යවරයෙකු හෝ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකු හැර වෙනත් අයෙකු සතුන්ට වෛද්‍ය ප්‍රතිකාර හෝ සැත්කම් කිරීම මෙන්ම වඳභාවයට පත්කිරීම ද නීතිවිරෝධී වේ. විලවුන් පරීක්ෂණ සඳහා සතුන් යොදාගැනීම, ක්‍රීඩා හා විනෝදය සඳහා සතුන් දඩයම් කිරීම හෝ එකිනෙකා ලවා සටන් කරවීම ද මෙයින් තහනම් කෙරේ.
නව පනත් කෙටුම්පත යටතේ නියම වන ප්‍රධාන දඬුවම්
- සතුන්ට කෲර ලෙස සැලකීම: රුපියල් 250,000 දක්වා දඩයක් හෝ වසර 2ක් දක්වා සිරදඬුවමක් (හෝ දෙකම)
- කෲර ලෙස සතුන් මැරීම: රුපියල් 500,000 දක්වා දඩයක් හෝ වසර 3ක් දක්වා සිරදඬුවමක් (හෝ දෙකම)
- ගර්භණී සතුන් මැරීම/විකිණීම: රුපියල් 500,000 දක්වා දඩයක් හෝ වසර 4ක් දක්වා සිරදඬුවමක් (හෝ දෙකම)
- ක්‍රීඩා/විනෝදය සඳහා දඩයම් කිරීම: රුපියල් 250,000 දක්වා දඩයක් හෝ වසර 1ක් දක්වා සිරදඬුවමක් (හෝ දෙකම)
- ප්‍රවාහන කොන්දේසි උල්ලංඝනය: රුපියල් 300,000 දක්වා දඩයක් හෝ වසර 2ක් දක්වා සිරදඬුවමක් (හෝ දෙකම)
සුරතල් සතුන් වෙළෙඳසැල් සහ නීතිමය කාලරාමුව
සුරතල් සතුන් අලෙවිසැල් හෝ බෝකිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා අදාළ පළාත් පාලන ආයතනයෙන් බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වන අතර, වීදි හෝ පොදු ස්ථානවල සතුන් අලෙවි කිරීම සහ වයස අවුරුදු 16ට අඩු අයට සතුන් විකිණීම තහනම් කෙරේ.
පරීක්ෂණ සහ අධ්‍යාපනික කටයුතු සඳහා සතුන් යොදාගැනීමේදී විකල්ප ක්‍රමවේද සහ පරිගණක අනුකාරක කෙරෙහි අවධානය යොමු කළ යුතු බව පනතේ දැක්වේ. මෙම පනත යටතේ වන සියලු වැරදි සංඥය වැරදි ලෙස සැලකෙන අතර, වරදක් සිදුවූ දින සිට මාස 12ක කාලසීමාවක් ඇතුළත ඊට අදාළව නඩු පැවරිය යුතු වේ.



