HomeදේශීයICRC සහ IFRC ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්.

ICRC සහ IFRC ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්.

ශ්‍රී ලංකාවේ රතු කුරුස සහ රතු අඬසඳ ව්‍යාපාරයේ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ රතු කුරුස සහ රතු අඬසඳ ව්‍යාපාරය මගින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ රතු කුරුස සහ රතු අඬසඳ ව්‍යාපාරයේ (SLRCS) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මහේෂ් ගුණසේකර, ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ (ICRC) ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ හිටපු ප්‍රධානී සෙවරින් චැපාස්, ICRC ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නව ප්‍රධානී ඇන්ජලික් ඇපෙයිරොක්ස්, ජාත්‍යන්තර රතුකුරුස සම්මේලනයේ (IFRC) දකුණු ආසියාව සඳහා වන දේශීය පොකුරු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ජෝන් එන්ට්විස්ට්ල්, SLRCS උපදේශක සුසිල් පෙරේරා, SLRCS සන්නිවේදන ප්‍රධානී රුවන්ති ජයසුන්දර, යන මහත්ම මහත්මීහු මෙම වැඩමුළුවේ සම්පත්දායකයන් ලෙස සහභාගී වූහ.

මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතා සඳහන් කළේ, 1936 සිට ශ්‍රී ලංකාවට සේවය කරන ශ්‍රී ලංකා රතු කුරුස සංගමය දුෂ්කර අවස්ථාවන්හිදී රට වෙනුවෙන් පෙනී සිටි බවයි. මැලේරියාව තුරන් කිරීම, සුනාමිය සහ සිවිල් යුද්ධය වැනි විවිධ අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා රතු කුරුස සංගමය විසින් ලබා දුන් සහාය අමතක කළ නොහැකි බව ඔහු පැවසීය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ දැනුවත් කිරීමේ ව්‍යාපෘති සහ රුධිර පරිත්‍යාග කඳවුරු ඇතුළු කටයුතු සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ දායකත්වය නියෝජ්‍ය කථානායකවරයාගේ ඇගයීමට ලක්විය.

එපමණක් නොව, රතු කුරුස සංවිධානයේ සහ රතු අඩසඳ ව්‍යාපාරයේ සාමාජිකයින් තම ජීවිත පරදුවට තබා යුද කලාපවල ජනතාවට ලබා දුන් සහයෝගීතාවයට නියෝජ්‍ය කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය.

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ ආරම්භය, එය ශ්‍රී ලංකාව තුළ සිදු කරන ක්‍රියාකාරකම් සහ ICRC සහ IFRC අතර ඇති වෙනස්කම් ආදිය සහ ඔවුන් සපයන සේවාවන් පිළිබඳව ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ නියෝජිතයින් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.

ශ්‍රී ලංකා රතු කුරුස හා රතු අඩසඳ සංගමය සමඟ එක්ව කටයුතු කිරීමට ඇති සූදානම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙහිදී අවධාරණය කළ අතර, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්හ.

RELATED ARTICLES
spot_img
spot_img

Most Popular

Recent Comments