Homeදේශීයජනක බණ්ඩාර ගැන අධිකරණයේ තීරණය

ජනක බණ්ඩාර ගැන අධිකරණයේ තීරණය

හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මහනුවර මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් දී ඇති තීන්දුවක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන විශේෂ අභියාචනා පෙත්සමක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

1999 වසරේ මාතලේ ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සහ තැත්කිරීම යන චෝදනා යටතේ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණා.

එම අධිචෝදනා ගොනුකර තිබෙන ආකාරය නීති විරෝධී යැයි සඳහන් කරමින් හිටපු අමාත්‍යවරයා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළා.

මෙම පෙත්සම ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකාර හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා රෝගී තත්ත්වයෙන් පසුවන බවත් ඔහුට ඇවිදීම පවා අපහසු බවත් කියා සිටියා.

ඒ අනුව මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments