Homeදේශීයසමුපකාරය යහපත් ලොවක් සඳහා තිරසර විසඳුම් සහිත ගාමක බලවේගයකි

සමුපකාරය යහපත් ලොවක් සඳහා තිරසර විසඳුම් සහිත ගාමක බලවේගයකි

වඩා හොඳ අනාගතයක් සඳහා සමුපකාරය’ යන තේමාව මුල් කරගෙන යාපනය දිස්ත්‍රික් සමුපකාර සභාව මගින් සංවිධානය කළ 103 වන ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම් උත්සවය සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පෙන්වා දුන්නේ සමුපකාර ව්‍යාපාරය ඕනෑ ම රටක ආර්ථික, සමාජ, සංස්කෘතික පරිසරය තිරසාර ව ගොඩ නැගීමට විශාල දායකත්වයක් ලබා දෙන බැවින් වාර්ෂික ව මෙවැනි සැමරුම් දිනයක් පැවතීම සමුපකාර ව්‍යාපාරය කෙරෙහි ලෝකවාසී ජනයාගේ නව අවධානයක් යොමු කරවන්නක් බව යි.

ශ්‍රී ලංකාව තුළ ද වර්තමාන ආණ්ඩුව මෙරට නිෂ්පාදන මූලික ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා සමුපකාර ක්‍රමය ප්‍රමුඛතම බලවේගයක් ලෙස සලකන බවත් රජය මගින් සමුපකාර යාන්ත්‍රණය ශක්තිමත් කරලීමට අවශ්‍ය යටිතල පහසුකම් සහ මූල්‍ය දිරි ගැන්වීම් ලබා දීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන ලදී.

ලොව පුරා වෙසෙන සියලු ම සමුපකාර සාමාජිකයින් සෑම වර්ෂයක ම ජූලි මාසයේ පළමු සෙනසුරාදා දිනය ජාත්‍යන්තර සමුපකාර දිනය ලෙස සමරනු ලබන අතර මෙවර එය සමරනු ලැබුයේ 103 වන වරට ය. එහි තේමාව වූයේ “සමුපකාරය : යහපත් ලොවක් සඳහා තිරසර විසඳුම් සහිත ගාමක බලවේගයකි” යන්නයි.

1844 වර්ෂයේ රොච්ඩේල් පුරෝගාමීන් එක්ව එංගලන්තයේදී ලොවට හඳුන්වා දෙන ලද සමුපකාර ව්‍යාපාරය මේ වන විට ලෝකයේ විවිධ ක්ෂේත්‍රයන් ආවරණය කරන සමුපකාර ජාලයකින් සමන්විත වේ. 1906 වර්ෂයේ දී ලංකාව තුළ සමුපකාර ව්‍යාපාරය ආරම්භ වන අතර සමුපකාරය එදා සිට අද දක්වා ම රටේ ජාතික වැදගත් වැඩ සටහන් හා ආපදා අවස්ථාවලදි මෙන් ම ආහාර සුරක්ෂිතතාව සඳහා සුවිශාල දායකත්වයක් සපයන සේවාවකි.

ලෝකයේ ජීවත් වන සෑම පුද්ගලයින් 06 දෙනෙකුගෙන්ම එක් අයෙක් කුමන හෝ සමුපකාර සමිතියක සාමාජිකත්වය දරන බව පැවසේ. ලෝකයේ මේ වන විට එවැනි සමුපකාර සමිති මිලියන 03 ක් පමණ පවතින බව සඳහන් වේ. සමුපකාරය තුළින් මිලියන දෙසිය අසූවකට (280) පමණ රැකියා සපයා දී ඇති අතර එය මුළු ලෝකයේ රැකියා නියුක්තිකයන්ගෙන් 10% පමණ වේ. කෙන්යාවේ මුළු ජනගහනයෙන් 63% ක් තම ජීවනෝපාය සකසා ගෙන ඇත්තේ එරට සමුපකාරය තුළින් වන අතර කැනඩාවේ මුළු ජනගහනයෙන් 70% ක් සමුපකාර සාමාජිකයෝ ය. ශ්‍රී ලංකාවේ සමුපකාර සමිතිවල සාමාජිකයින් ගණන මිලියන 08 අධික වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ විශාල ම සාමාජික පිරිසක් සිටින ව්‍යාපාරය වන්නේ සමුපකාරයයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments