Homeදේශීයවිදේශ සේවයේ පත්වීම් ගැන අනුර - විජිත කතා නෑ

විදේශ සේවයේ පත්වීම් ගැන අනුර – විජිත කතා නෑ

ලෝකයේ ප්‍රධාන රටවල තානාපතිවරුන් ලෙස දේශපාලන පත් කිරීම් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දැඩි අප්‍රසාදය පළ කර සිටී.

ශ්‍රී ලංකා විදේශ සේවය තුළ අත්දැකීම් ඇති, වෘත්තීය විදේශ සේවා නිලධාරීන් සිටියදී මෙසේ තානාපති සේවය සදහා දේශපාලන පත් කිරීම් කිරීම, ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින්ම හෙළා දැක ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවය යනු රටේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සදහා විශේෂ පුහුණුව ලත් නිලධාරීන්ගෙන් සමන්විත සේවාවක් බව එම නිවේදනය මගින් සිහිපත් කර ඇති අතර වෘත්තීය විදේශ සේවයේ නිලධාරීන් පසෙක තබා දේශපාලන පත් කිරීම් කිරීම මගින් තානාපති සේවය හෑල්ලුවට ලක් වන බවද සදහන් කර තිබේ.

මෙසේ තානාපති කාර්යාල සදහා දේශපාලන පත් කිරීම් කිරීම ආණ්ඩුව මැතිවරණය අවස්ථාවේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයටත් පටහැනි බවද එම සංගමය සදහන් කරයි.

ආණ්ඩුව මැතිවරණය අවස්ථාවේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වන්නේ වෘත්තීය තානාපති නිලධාරීන්ගේ වෘත්තීය විශිෂ්ඨත්වය මත ලබාදෙන ලකුණු ක්‍රමයක් මත පත් කිරීම් කරන බවයි. ඒ අනුව කටයුතු කරන ලෙසද එම සංගමය ඉල්ලා සිටී.

මෙසේ තානාපති සේවය සදහා දේශපාලන පත් කිරීම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනාධිති අනුර කුමාර දිසානායකගෙන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඉල්ලා ඇතත් මේ වන තෙක් එම සාකච්ඡාව ලබාදීමටද කටයුතු කර නැත. අනුර කුමාර දිසානායක ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති මහින්ද සමරසිංහ හැර අනෙකුත් දේශපාලනිකව පත් කළ තානපතිවරුන් කැදවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම සදහා මහින්ද සමරසිංහ තවදුරටත් එම තනතුරේ සිටිය යුතු බවට ඔහු තවදුරටත් තනතුරේ තබාගැනීම සාධාරණිකරණය කරමින් ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් මේ වන විට තානාපතිවරු කැදවීමෙන් පුරප්පාඩුවට පත්වූ තානාපති තනතුරු සදහා අලුතින් පත්වීම් කිරීමට ආණ්ඩුව සූදානම් වේ

ඒ අනුව ඉන්දියාවේ මහ කොමසාරිස්වරිය ලෙස මහේෂිනී කොලොන්නේ පත් කිරීමට නියමිතව ඇත. ඇය විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෘත්තීය තානාපති සේවයේ නිලධාරිනියකි.

මහාචාර්ය ජනක කුමාරසිංහ ජපානයේ නව තානාපතිවරයා ලෙස පත් කිරීමට නියමිතව ඇත. හිටපු ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ දකුණු අප්‍රිකාවේ තානාපතිවරයා ලෙස පත් කිරීමට සූදානමින් සිටින බවද ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි. නිමල් සේනාධීර බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමට නියමිතව තිබේ. ඔහු මේ වන විට ස්කොට්ලන්තයේ තමන්ගේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින අයෙකි. මහාචාර්ය අරූෂා කුරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා ලෙස පත් කිරීමට නියමිත බවද ආණ්ඩුවේ ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments