ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් වෙන් කෙරෙන සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගෙවීම් සම්බන්ධයෙන් දැවැන්ත මුදල් පැහැර හැරීමක් පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කවිරත්න මහත්මිය විසින් යොමු කරන ලද වාචික ප්‍රශ්නයකට සභාවට ලබා දුන් පිළිතුරකට අනුව, පෞද්ගලික අංශයේ ආයතන 20,726ක් විසින් සිය සේවකයින්ට ගෙවිය යුතු රුපියල් බිලියන 34.3ක (නිශ්චිතවම රුපියල් 34,362,727,926.79ක) අතිවිශාල මුදලක් මේ වන විටත් ගෙවා නොමැත.
මෙසේ සේවක අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් අරමුදල් ගෙවීම පැහැර හැර ඇති ආයතන ලැයිස්තුවට හුදෙක් සාමාන්‍ය ව්‍යාපාරික ස්ථාන පමණක් නොව, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රධාන පෙළේ ආයතන රැසක්ම ඇතුළත් වීම විශේෂත්වයකි. මෙම ලැයිස්තුවට ජාත්‍යන්තර පාසල් දෙකක්, එක් කතෝලික පාසලක් සහ පෞද්ගලික අංශයට අයත් දේශීය පාසලක් ද ඇතුළත් බව හඳුනාගෙන තිබේ. ඊට අමතරව, ප්‍රධාන පෙළේ හෝටලයක් මෙන්ම රෝහලක් ද තම සේවකයින්ගේ අර්ථසාධක මුදල් නිසි පරිදි ගෙවා නොමැති බව හෙළි වී ඇත.
වඩාත් අවධානයට ලක්වන කරුණක් වන්නේ කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති මෙන්ම දේශපාලන පක්ෂ ද මෙම අරමුදල් පැහැර හැර ඇති ආයතන අතරට අයත් වීමයි. ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක මූලස්ථානයකට අනුයුක්තව සේවය කරන පිරිසක් වෙනුවෙන් ද අදාළ ගෙවීම් සිදු කර නොමැති අතර, මත්පැන් නිෂ්පාදන සමාගමක් සහ ආපනශාලා විශාල ප්‍රමාණයක් ද මෙම EPF මුදල් නොගෙවූ ලැයිස්තුවට ඇතුළත් වී තිබේ.
සේවකයින්ට අහිමි වී ඇති මෙම අයිතිවාසිකම් තහවුරු කිරීමේ අරමුණින්, කම්කරු කාර්යාල 40ක් සහ උප කාර්යාල 11ක් මගින් මේ වන විටත් අරමුදල් ගෙවීම පැහැර හරින ලද එම සමාගම්වලට එරෙහිව පියවර ගැනීමේ කටයුතු සක්‍රීයව ක්‍රියාත්මක කරමින් පවතින බව රජය පාර්ශ්වයෙන් තහවුරු කර තිබේ.



