මෙට්‍රෝ බස් සේවාව අද සිට කොළඹ නගරය පුරා ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන යටතේ බස් රථ 121ක් සේවයට එක් කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය. ප්‍රවාහන ආරක්ෂාව සහ පොදු ප්‍රවාහන සේවාව වැඩිදියුණු කිරීම සඳහා වන ජාතික වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
පෞද්ගලික වාහන භාවිතය අවම කර පොදු ප්‍රවාහන සේවා භාවිතය සඳහා ජනතාව වැඩි වශයෙන් යොමු කිරීම මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණ බව ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර, බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය මීට පෙර ශ්‍රී ලංකා පොලීසිය විසින් හඳුන්වා දී තිබුණ ද විවිධ හේතූන් මත එය අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වූ බව සිහිපත් කළ අමාත්‍යවරයා, මෙට්‍රෝ බස් සේවාව හරහා නියමිත වේලාවට ධාවනය වන, සෑම ස්ථානයකම නොනවත්වා ගමන් කරන සහ නීතිගරුක රියදුරන් හා කොන්දොස්තරවරුන් සහිත විධිමත් බස් සේවාවක් ලැබෙන බැවින් බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ක්‍රමවේදය වඩාත් උචිත බව හඳුනාගෙන ඇති බව සඳහන් කළේය.
ඒ අනුව, මාර්ගයේ පවතින මංතීරු තුනෙන් එක් මංතීරුවක් පොදු ප්‍රවාහන බස් රථ සඳහා වෙන් කිරීමට පියවර ගන්නා අතර, උදෑසන 6.00 සිට 9.00 දක්වා එක් දිශාවකටත්, පස්වරු 4.00 සිට 7.00 දක්වා අනෙක් දිශාවටත් එම බස් ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාත්මක වන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.



