Homeදේශීයකැබිනට් තීරණ සියල්ල මෙන්න

කැබිනට් තීරණ සියල්ල මෙන්න

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණා.

ඒ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්,

එම කැබිනට් තීරණ පහතින්,

01.මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන මාර්ග වැඩිදියුණු කිරීම

මෙරට A සහ B ශ්‍රේණිවල මාර්ග, අධිවේගී මාර්ග සහ ඒවාට අදාළ පාලම් ඇතුළත් ජාතික මහාමාර්ග පද්ධතිය ඉදි කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම, වැඩිදියුණු කිරීම, නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීම යන කාර්යයන් සිදු කිරීමේ වගකීම මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇත. මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන, වෙනත් බලධාරින් යටතේ පවතින හා කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතුව පවතින මාර්ග, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරා ගෙන ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහ වෙනත් ආයතන විසින් ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, පළාත් සභා හෝ පළාත් පාලන ආයතනවලට අයත් එවැනි මාර්ග 60ක් පමණ හඳුනාගෙන තිබේ. එකී මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පහත සඳහන් නියෝජනයන්ගෙන් සමන්විත වන පරිදි නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
මුදල් කොමිෂන් සභාව
පළාත් ප්‍රධාන ලේකම්වරයෙකු
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
මාර්ග සංවර්ධන අධිකාරිය
පළාත් මාර්ග සංවර්ධන අධිකාරියක සාමාන්‍යාධිකාරිවරයෙකු

  1. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ධීවර කර්මාන්තයේ සේවා නියුක්තිය පිළිබඳ සම්මුතිය (C188) අපරානුමත කිරීම

2007 වසරේදී පවත්වනු ලැබූ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 96 වන ජාත්‍යන්තර කම්කරු සමුළුවේදී ධීවර කර්මාන්තයේ සේවා නියුක්තිය පිළිබඳ සම්මුතිය (C188) සම්මත කර ගනු ලැබ තිබේ. එමඟින්, ධීවර ප්‍රජාවගේ යහපත් සේවා තත්ත්වයන්, සෞඛ්‍ය පහසුකම්, වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය සහ ආරක්ෂණය පිළිබඳ ප්‍රමිතීන් ස්ථාපිත කරනු ලැබ ඇත. 315,000 ඉක්මවා ඇති ධීවර කාර්මිකයින් සංඛ්‍යාවකගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය, එහි ස්වභාවය සහ සාම්ප්‍රදායික ක්‍රියාකාරකම් හේතුවෙන් ඉතා අවිධිමත් මට්ටමක පවතින අතර, වෘත්තීය සුරක්ෂිතතාව, සෞඛ්‍යය සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් සිටියි. එබැවින්, එකී අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම පිණිස ධීවර කර්මාන්තය සඳහා වන ජාත්‍යන්තර පිළිගත් ප්‍රමිතීන් හඳුන්වා දීමට හැකි වන පරිදි ධීවර කර්මාන්තයේ සේවා නියුක්තිය පිළිබඳ සම්මුතිය (C188) අපරානුමත කිරීමටත්, එකී ප්‍රමිතීන් ස්ථාපිත කිරීම පිණිස වන රෙගුලාසි අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමටත් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමා සහ කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

03.මහනුවර ඇසළ පෙරහැර ආශ්‍රිත ඓතිහාසික, සංස්කෘතික සහ සම්ප්‍රදායික බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම

ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (World Intellectual Property Organization – WIPO) සංවර්ධන හා බුද්ධිමය දේපළ පිළිබඳ කමිටුව විසින් ‘බුද්ධිමය දේපළ හරහා උත්සව සංචාරක සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම’ නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. දේශීය සම්ප්‍රදායයන් සහ සංස්කෘතික උරුමයන්ට ගරු කරමින්, උත්සව සංචාරක සංවර්ධනය කිරීම සඳහා බුද්ධිමය දේපළ අයිතිවාසිකම් භාවිත කිරීම පිණිස ප්‍රතිලාභී රටවල සංස්කෘතික උත්සව සංවිධායකයින්ගේ ධාරිතාව වර්ධනය කිරීම එම ව්‍යාපෘතියේ අරමුණ වේ. සියවස් ගණනාවක් පුරා පාරම්පරිකව සම්ප්‍රේෂණය වූ සම්ප්‍රදායික කලා ආකෘතීන්ගෙන් හා දැනුමෙන් සමන්විත මහනුවර ඇසළ පෙරහැර හා සම්බන්ධ ඓතිහාසික, සංස්කෘතික සහ සම්ප්‍රදායික දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘති යෝජනාවක්, ‘බුද්ධිමය දේපළ හරහා උත්සව සංචාරක සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය’ වෙත ඉදිරිපත් කිරීමේ යෝග්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ‘ප්‍රකාශන හිමිකම ආරක්ෂාව’ සහ ‘වෙළෙඳ ලකුණු සහ සන්නාමකරණය’ යන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මහනුවර ඇසළ පෙරහැරේ ඓතිහාසික, සංස්කෘතික හා සාම්ප්‍රදායික අනන්‍යතාව හා වටිනාකම්වල බුද්ධිමය දේපළ හිමිකම් ආරක්ෂා කිරීමට හැකි වන පරිදි අදාළ ව්‍යාපෘති යෝජනාව සකස් කර ඉදිරිපත් කිරීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගේ සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ සමසභාපතිත්වය යටතේ අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

  1. ඕස්ට්‍රේලියාවේ රාජකීය මෙල්බර්න් තාක්ෂණ ආයතනය (RMIT) සහ ශ්‍රී ලංකාවේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම

ජල හා අපජල ක්ෂේත්‍රය නවීකරණය කිරීම, පර්යේෂණ ධාරිතාව වැඩිදියුණු කිරීම සහ ජාත්‍යන්තර අධ්‍යයන සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ඉංජිනේරු, පාරිසරික විද්‍යා, ජල කළමනාකරණ සහ තාක්ෂණ නවෝත්පාදන ක්ෂේත්‍රවල විශිෂ්ටත්වයක් හිමි ඕස්ට්‍රේලියාවේ රාජකීය මෙල්බර්න් තාක්ෂණ ආයතනය සමඟ සහයෝගිතාව වර්ධනය කර ගැනීම පිණිස සාකච්ඡා පවත්වා තිබේ. යෝජිත සහයෝගිතාව මඟින් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කාර්යමණ්ඩලයේ තාක්ෂණික දැනුම, පර්යේෂණ හැකියාවන් සහ වෘත්තීය සංවර්ධන අවස්ථා වැඩිදියුණු කිරීමත්, ශ්‍රී ලංකාවේ දිගුකාලීන ජල සුරක්ෂිතතාව සහ යටිතල පහසුකම් සංවර්ධන ඉලක්කවලට සහාය වීමත් අපේක්ෂා කෙරේ. ඒ අනුව කටයුතු කිරීම සඳහා දෙපාර්ශ්වය අතර ඇතිකර ගනු ලැබ ඇති එකඟතාව මත පදනම්ව, ඕස්ට්‍රේලියාවේ රාජකීය මෙල්බර්න් තාක්ෂණ ආයතනය සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

  1. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර සේවා/දුරගමන් සේවා සඳහා බස්රථ 600ක් මිල දී ගැනීම

2026 වර්ෂයේදී රජයේ ආයෝජන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ආසන 49-54කින් සමන්විත Standard මාදිලියේ නව බස්රථ 600ක් මිල දී ගැනීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 14,400ක අයවැය ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇත. එලෙස ප්‍රතිපාදන වෙන් කිරීමෙන් අනතුරුව, මාර්ග ආරක්ෂණ සැලැස්ම – 20252026 හඳුන්වා දී ඇත. එකී සැලැස්ම යටතේ මගී ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන බස්රථ ආරක්ෂිත වාහන ලෙස හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, නගරාන්තර හා දුරගමන් සේවා සඳහා භාවිතයට සුදුසු බස්රථ වර්ග සහ ඒවායේ අවම පිරිවිතර පිළියෙල කරනු ලැබ ඇත. එම පිරිවිතරයන්ට අනුව නගරාන්තර හා දුරගමන් සේවා සඳහා Deluxe මාදිලියේ (වායුසමනය කරන ලද) බස්රථ සේවයේ යෙදවිය යුතු වේ. ඒ අනුව, දැනටමත් ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇති Standard මාදිලියේ නව බස්රථ 600 වෙනුවට Deluxe මාදිලියේ (වායුසමනය කරන ලද) වඩා සුවපහසු බස්රථ මිල දී ගැනීම පිණිස ඉදිරි පියවර ගැනීම සඳහා වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

  1. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා ටග් යාත්‍රා දෙකක් කුලී පදනම මත ලබා ගැනීම

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවශ්‍යතාව පුළුල් ලෙස ඇගයීමෙන් අනතුරුව, එම අධිකාරියේ ටග් යාත්‍රා බලඇණිය ඉහළ නැංවීමේ අරමුණින් ටොන් 70 Bollard Pull (BP) Twin Azimuth Stern Drive වර්ගයේ වරාය ටග් යාත්‍රා 02ක් නිශ්චිත කාලයක් සඳහා කුලියට ගැනීම පිණිස 2025-01-06 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එම අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි සුදුසු සැපයුම්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 03ක් ලැබී තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/S Sri Lanka Shipping Company Limited වෙතින් වසර 05ක කාලසීමාවක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 17.16ක මුදලකට (අදාළ බදු සහ තීරු ගාස්තු රහිත) එම ටග් යාත්‍රා 02 සපයා ගැනීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

  1. ප්‍රාථමික සත්කාර සේවා තුළ ක්‍රමවේද මත පදනම් වූ අධි රුධිර පීඩනය සහ දියවැඩියාව කළමනාකරණය කිරීම පිළිබඳ ව්‍යාපෘතිය

කළුතර, මහනුවර, නුවරඑළිය, මාතලේ, ගාල්ල, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක කරන ලද ප්‍රාථමික සත්කාර සේවා තුළ ක්‍රමවේද මත පදනම් වූ අධි රුධිර පීඩනය සහ දියවැඩියාව කළමනාකරණය කිරීම පිළිබඳ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා Resolve to Save Lives, Inc. ආයතනය වෙතින් ඇමෙරිකානු ඩොලර් 242,125ක ප්‍රදානයක් ලබා ගැනීම පිණිස 2026-01-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් Resolve to Save Lives, Inc. ආයතනය සමඟ ගිවිසුමකට එළඹ ඇති අතර, එම ගිවිසුමේ කාලය 2026-09-30 දිනෙන් අවසන් වීමට නියමිතය. 2026-05-31 දින වන විට එම අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර් 50,320ක ශේෂයක් පවතින බව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, එකී ඉතිරි ප්‍රතිපාදන භාවිත කරමින් ව්‍යාපෘති ක්‍රියාකාරකම් ඵලදායී ලෙස තවදුරටත් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි ව්‍යාපෘතියේ කාලසීමාව 2027-12-31 දක්වා දීර්ඝ කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

  1. ශ්‍රී ලංකා වරලත් පරිගණක ආයතනය සංස්ථාපනය කිරීම

ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් නියෝජනය කරන ප්‍රමුඛතම සහ එකම ආයතනය වශයෙන් ‘ශ්‍රී ලංකා පරිගණක සංගමය’ 1976 වර්ෂයේදී පිහිටුවා තිබේ. ශ්‍රී ලංකාවේ පරිගණක ක්ෂේත්‍රය නියෝජනය වන වෘත්තිකයන්ගේ අභිලාෂයන් නිරූපණය කරන ප්‍රධාන වෘත්තීය සංවිධානය ලෙස, වරලත් තත්ත්වය සහ අනෙකුත් විධිමත් පිළිගැනීම් ලබා ගෙන ඇති අනෙකුත් වෘත්තීය සංවිධාන සමඟ සමාන තත්ත්වයෙන් සැලකීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා වරලත් පරිගණක සංගමය ස්ථාපිත කිරීමේ වැදගත්කම හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා වරලත් පරිගණක ආයතනය සංස්ථාපනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත්, ඒ සඳහා වන යෝජිත අරමුණුවලට අනුගතව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

  1. 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත ඉවත් කරමින් විදේශ රැකියා ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා නව නීතියක් සම්පාදනය කිරීම

විදේශ රැකියා නියාමනය කිරීම, ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ සුබසාධනය සුරක්ෂිත කිරීම සහ විදේශ රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීම සඳහා 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත හඳුන්වා දී තිබේ. විදේශ රැකියා ක්ෂේත්‍රයේ වර්තමාන ප්‍රවණතාවන්ට ගැළපෙන පරිදි ප්‍රතිචාර දැක්වීමට සහ ජාතික ප්‍රමුඛතාවන් හා ජාත්‍යන්තර ප්‍රමිතීන් සමග අනුගත වීමට හැකි වන පරිදි දැනට පවතින ව්‍යවස්ථාපිත රාමුව නවීකරණය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. එම අවශ්‍යතාව සඳහා 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත ඉවත් කර නව පනතක් හඳුන්වා දීමට අපේක්ෂා කරනු ලැබේ. ඒ අනුව, විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වන නීතිමය සහ ආයතනික රාමුව නවීකරණය කිරීමට සහ ශක්තිමත් කිරීමට අදාළව සංකල්ප පත්‍රිකාවක් සකස් කරනු ලැබ ඇත. එකී සංකල්ප පත්‍රිකාව මත පදනම්ව, 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත ඉවත් කරමින් නව පනතක් හඳුන්වා දීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

  1. 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම

ඉඩම් කොටස් පිළිබඳ හිමිකම් ලියාපදිංචි කිරීම, එලෙස ලියාපදිංචි කරන ලද ඉඩම් කොටස්වලට අදාළ ගනුදෙනු විධිමත් කිරීම සහ ඒ හා සම්බන්ධ වූ ඊට අනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම පිණිස 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත හඳුන්වා දී තිබේ. එම පනත බලාත්මක කිරීමෙන් පසුව 1998 වර්ෂයේ සිට දීපව්‍යාප්තව කැඩැස්තර සිතියම් සකස් කර හිමිකම් තීරණ ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබ ඇත. හිමිකම් තීරණ ලියාපදිංචිය මඟින් හිමිකම් පිළිබඳ දත්ත පද්ධතියක් ස්ථාපනය කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති අතර, එම දත්ත පද්ධතිය මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සකස් කර ඇති ඉඩම් තොරතුරු පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීමට කටයුතු කරනු ලැබ තිබේ. එසේ වුවද, හිමිකම් ලියාපදිංචි කිරීමේ ජාතික වැඩසටහන වන ‘බිම්සවිය’ ක්‍රියාත්මක කිරීමේදී විවිධ ගැටලු හඳුනා ගෙන ඇති අතර, එම වැඩසටහන මඟින් අපේක්ෂිත ඉලක්ක ළඟා කර ගැනීමට මේ දක්වා අපොහොසත් වී ඇත. එම තත්ත්වය සැලකිල්ලට ගෙන, අදාළ සියලු අංශවල සහභාගිත්වයෙන් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතට සිදු කළ යුතු සංශෝධන හඳුනා ගැනීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, එකී සංශෝධන මත පදනම්ව 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

  1. 1996 අංක 17 දරන ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය පනත සංශෝධනය කිරීම

1996 අංක 17 දරන සමාජ ආරක්ෂණ මණ්ඩලය පනතY මඟින් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය පිහිටුවා ඇති අතර, එම ආයතනය විසින් ධීවර හා කෘෂිකර්ම නොවන ස්වයංරැකියාවල නියුක්තිකයන් සඳහා විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ හිමි කර දීම අරමුණු කර ගනිමින් විවිධ විශ්‍රාම සැලසුම් හඳුන්වා දී ක්‍රියාත්මක කරනු ලබයි. ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම සඳහා වන ඉලක්කගත කණ්ඩායම් පුළුල් කිරීම සඳහා සමාජ ආරක්ෂණ මණ්ඩල පනත සංශෝධනය කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. එම අනුමැතිය මත පදනම්ව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා තවදුරටත් හඳුනාගෙන ඇති සංශෝධනයන් ද ඇතුළත් කරමින්, ඒ සඳහා වන අවසාන පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

  1. 1984 අංක 11 දරන අන්තරායදායක ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩලය පනත සංශෝධනය කිරීම

1984 අංක 11 දරන අන්තරායදායක ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩලය පනත මඟින් අන්තරායදායක ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩලය පිහිටුවීම, එම මණ්ඩලයේ බලතල නිශ්චය කිරීම හා ඊට සම්බන්ධ වූ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සලසා තිබේ. දිනෙන් දින වර්ධනය වන මත්ද්‍රව්‍ය ජාවාරම හා දුර්භාවිතය හමුවේ අන්තරායදායක ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩලයේ කාර්යභාරය හා බලතල පුළුල් කිරීම සඳහා එකී පනත සංශෝධනය කිරීමේ දැඩි අවශ්‍යතාවක් පැන නැගී ඇත. ඒ අනුව, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන, 1984 අංක 11 දරන අන්තරායදායක ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩලය පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත්, යෝජිත සංශෝධන ඇතුළත් කරමින් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් තීරණය කරන ලදී.

  1. 2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනත සංශෝධනය කිරීම

2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනත මඟින් ප්‍රතිකාර සඳහා ප්‍රවේශය තහවුරු
කිරීම, පුනරුත්ථාපනයට පහසුකම් සැලසීම හා නැවත සමාජගත කිරීම ප්‍රවර්ධනය කිරීමේ මූලික අරමුණ සහිතව මත්ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම, පුනරුත්ථාපනය කිරීම හා පසු රැකවරණය ලබා දීම සඳහා නීතිමය රාමුවක් සලසා දී තිබේ. රට තුළ සිටින මත්ද්‍රව්‍ය මත යැපෙන තැනැත්තන් සංඛ්‍යාව අවම කිරීම පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය සහ ප්‍රථම වරට මත්ද්‍රව්‍ය භාවිත කරනු ලබන තැනැත්තන් ග්‍රහණය කර ගැනීම පිළිබඳව වන ගැටලු සැලකිල්ලට ගනිමින්, ප්‍රතිකාර කිරීමේ හා පුනරුත්ථාපනය කිරීමේ නිසි විධිමත් යාන්ත්‍රණයක් පවත්වාගෙන යාමට හැකි වන පරිදි යෝග්‍ය සංශෝධන 2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනතට හඳුන්වා දීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන, 2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත්, අදාළ සංශෝධන ඇතුළත් කරමින් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් තීරණය කරන ලදී.

  1. සර්වේයර් ජනරාල් තනතුරට පත් කිරීම

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජනරාල් ලෙස දැනට සේවය කරනු ලබන පී.කේ.එල්.එස්.පඬුවාවල මහත්මිය 2026-08-20 දින අනිවාර්ය විශ්‍රාම වයසට එළඹීම මත එදින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත. ඒ අනුව, පුරප්පාඩු වන සර්වේයර් ජනරාල් තනතුරට එම දෙපාර්තමේන්තුවේ අතිරේක සර්වේයර් ජනරාල්වරියක වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරි, ඕ.ටී.එම්.අයි.තිලකරත්න මහත්මිය 2026-08-20 දින සිට පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments