මීගමුව බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ තොරතුරු පාවාදීමේ සිදුවීමක් මුල් කරගනිමින් රැඳවියන් දෙපිරිසක් අතර
ඊයේ දහවල් දරුණු ගැටුමක් හටගෙන තිබේ.
ගැටුම හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලැබූ සමස්ත රැඳවියන් සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ ගොස් ඇත. බරපතළ තුවාල ලැබූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර තවත් 10 දෙනෙකු සැත්කම් සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.
ගැටුමෙන් අනතුරුව බන්ධනාගාරයේ පාලනය ගිලිහී ගොස් ඇති අතර, මුලින්ම ගැහැනු වාට්ටුවේ කාන්තා රැඳවියන් පිරිසක් ද, පසුව පිරිමි රැඳවියන් පිරිසක් ද බන්ධනාගාර වහලය මතට නැග දැවැන්ත විරෝධතාවක් ආරම්භ කර ඇත.
විරෝධතාවයේ නිරත වෙමින් සිටින අතරතුර එහි වහලය කඩාවැටී ඇත.
ඉන් තුවාල ලැබූ රැඳවියන් සිවුදෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.
බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව, මෙම දරුණු ගැටුමට මුල් වී ඇත්තේ බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරමක රහස් පිරිසක් විසින් බලධාරීන්ට පාවාදීමයි. ඉන් කෝපයට පත් අනෙක් පාර්ශවය සංවිධානාත්මකව එල්ල කළ ප්‍රහාරයත් සමඟ මුළු බන්ධනාගාර පරිශ්‍රයම යුද පිටියක් බවට පත්ව ඇත.
තත්ත්වය බන්ධනාගාර නිලධාරීන්ට පාලනය කිරීමට නොහැකි මට්ටමට උග්‍ර වීමත් සමඟ, පරිශ්‍රයේ ආරක්ෂාව සහ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) කැඳවීමට පියවර ගෙන තිබේ. මේ වන විට බන්ධනාගාරය වටා සන්නද්ධ ආරක්ෂාවක් යොදවා ඇත.
පිටතින් මතු වූ ඥාතීන්ගේ උණුසුම් විරෝධය
බන්ධනාගාරය ඇතුළත ඝාතන සහ දරුණු ගැටුම් සිදුවන බව සැලවීමත් සමඟ, එහි රඳවා සිටින රැඳවියන්ගේ ඥාතීන් විශාල පිරිසක් බන්ධනාගාර දොරටුව අසලට රැස්වී ඇත. තමන්ගේ ඥාතීන්ට සිදුවූයේ කුමක්දැයි තොරතුරු ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියද, බලධාරීන් ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ආරක්ෂක අංශ සහ ඥාතීන් අතර ද උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.



