Homeදේශීයකතානායකගේ මල්ලි ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක

කතානායකගේ මල්ලි ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක

මින්නේරිය ගොවි ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන 22ක නියෝජිතයින් එක්ව වී සඳහා සාධාරණ මිලක් ඉල්ලා හිඟුරක්ගොඩ නගරයේදී දැවැන්ත විරෝධතාවයක නිරත විය. මෙම අවස්ථාවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ බාල සොහොයුරු වන මින්නේරිය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති බන්දුල මහානාම මහතා ද එක්ව සිටීම විශේෂත්වයකි.

විරෝධතාවය අමතමින් බන්දුල මහානාම මහතා අවධාරණය කළේ, මෙම රජය බලයට පත් කිරීමට ඡන්දය ලබා දුන් ගොවි ජනතාව අද පාරට වැටී සිටින බවත්, ඔවුන්ගේ ඉල්ලීම් අතිශය සාධාරණ බවත්ය. විරෝධතාකරුවන් රජයෙන් ඉල්ලා සිටියේ වහාම වී ගබඩා විවෘත කර වී කිලෝග්‍රෑමයක් රුපියල් 140ක අවම මිලකට මිලදී ගැනීමට කටයුතු කරන ලෙසයි.

රජය විසින් 2025/2026 මහ කන්නය සඳහා කීරි සම්බා වී සඳහා රුපියල් 140, සම්බා සඳහා රුපියල් 130 සහ නාඩු සඳහා රුපියල් 120ක සහතික අවම මිලක් ප්‍රකාශයට පත් කර ඇතත්, ගොවි ජනතාව මෙම මිල ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙමින් ඉහළ මිලක් ඉල්ලා සිටිති.

තවත් ගොවි නායකයන් පැවසූයේ, “අපි හිතුවේ නැහැ මෙච්චර ඉක්මනින් අපිට මේ ගොවියෝ පාරට බස්සවන්න වෙයි කියලා,” පවසමිනි. එමෙන්ම පොහොර මිල පහත හෙළීමට රජය වහා මැදිහත් විය යුතු බවත්, අසාර්ථක පාලනයක් ගෙනයන කෘෂිකර්ම අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා වහාම සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවත් ඔවුන් වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරයා වෙත සෘජු අනතුරු ඇඟවීමක් කරමින් විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ, ගොවි ජනතාව පාරට බැස්සේ “හුරතල් වීමට” නොවන බවයි. මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබා නොදුනහොත්, දෙවන වරට ගොවි ජනතාව පාරට බසින්නේ රජයට එරෙහිව ඉතා තීරණාත්මක බලපෑමක් එල්ල කිරීමට බව ද ඔවුහු අවධාරණය කළහ. මෙම විරෝධතාවය හිඟුරක්ගොඩ නගරයේ සාමකාමීව පැවැත්වූ අතර, ගොවි ජනතාවගේ ඉල්ලීම් සාධාරණ බවත් ඒවා ඉටු කළ යුතු බවත් විරෝධතාකරුවෝ පෙන්වා දුන්හ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments