සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006 සිට තමන්වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත් කිසිවෙකුගේ සහය නොලැබීම නිසා එම වෑයම සාර්ථක කර ගැනීමට නොහැකි වූ බවත් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසනවා.
වසර 2006 සිට ආණ්ඩු කිහිපයක් බලයේ සිටි නමුත් එම ආණ්ඩු කිසිවකින් ඊට සහාය නොලැබුණු නිසා සංඝ කතිකාවතක් ගෙන ඒමේ අදහස අත්හැර දැමූ බවත් දිනෙන් දින සිදුවන ශාසනික පරිහානිය වළක්වා ගැනීම සඳහා විහාර දේවාලගම් ආඥා පනතට සංශෝධනයක් හෝ ගෙන එන ලෙස ඉල්ලීමක් කරනු ලැබුවේ ඉන් පසුව බවත් උන්වහන්සේ පැවසුවා.
සමගි ජනබලවේගය මගින් පැවැත්වීමට නියමිත සඟ සමුළුව සම්බන්ධව මහනායක ස්වාමින්ද්‍රයන්වහන්සේ දැනුවත් කිරීම සඳහා එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල මල්වතු මහා විහාරයට ගිය අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවසූවා.
සංඝ කතිකාවත සකස් කිරීම සඳහා මල්වතු මහා නායක නිල ආරමයේදී නිකාය පාර්ශව නියෝජනය කරමින් මහා සංඝරත්නය සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ නමුත් එම වෑයම සාර්ථක කර ගැනීමට නොහැකි වූ බවත් එහි ප්‍රතිඵල දැන් දකින්නට ලැබෙන බවත් මහනායක ස්වාමින්ද්‍රයන්වහන්සේ ප්‍රකාශ කළා.
මෙහිදී අදහස් දැක්වූ චමින්ද්‍රානි කිරිඇල්ල මන්ත්‍රීවරිය මහා සංඝරත්නය වෙතින් ප්‍රධාන විපක්ෂය වෙත ඉදිරිපත් වූ යෝජනා මත පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් සඟ සමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබෙන බවයි.



