Homeදේශීයඅනුරාධපුර සිද්ධිය ගැන සොයන්න කාන්තා මන්ත්‍රී සංසදය යළි රැස්වෙයි.

අනුරාධපුර සිද්ධිය ගැන සොයන්න කාන්තා මන්ත්‍රී සංසදය යළි රැස්වෙයි.

අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් අපයෝජනයට ලක් වීමේ සිදුවීමට අදාළ නඩුවේ විමර්ශන කටයුතුවල ප්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පාර්ලිමේන්තුවේදී රැස් විය.

එම සංසදයේ සභාපතිනි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන නිලධාරීන් කැඳවා තිබිණි.

එහිදී, සිදුවීමට අදාළව දැනට සිදු කෙරෙන විමර්ශනවලදී අධිකරණ නියෝගවලට අනුවම කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් අදාළ අංශවලට උපදෙස් ලබා දෙන ලදි. එමෙන්ම, නඩුවට අදාළ රස පරීක්ෂක වාර්තා සහ අනෙකුත් වෛද්‍ය වාර්තා කඩිනමින් කැඳවා ගැනීමට ද කටයුතු කරන ලෙස ද ඉල්ලීමක් කෙරිණි.

වින්දිත දැරිය සම්බන්ධයෙන් මේ වන විට අනුරාධපුරයට අමතරව අත්තනගල්ල සහ දඹුල්ල යන ප්‍රදේශවල ද අධිකරණ නඩු කටයුතු සිදු වන බැවින් එම නඩු කටයුතු අධීක්ෂණය සඳහා ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මැදිහත් වීමක් සිදු කරන ලෙස සංසදය විසින් උපදෙස් ලබා දෙන ලදී. මෙම නඩු කටයුතු ත්‍රිත්වයටම සම්බන්ධ වීම නිසා වින්දිත දැරිය නැවත නැවතත් පීඩාවට පත් වීම අවම වන ලෙස කටයුතු කරන ලෙස ද ඉල්ලීමක් කෙරිණි.

එමෙන්ම, අධිකරණ සහ නීතිමය ක්‍රියාමාර්ග පහසු කර ගැනීමටත්, රජයේ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සඳහාත් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සිදු කළ ඉල්ලීමට මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ එකඟතාව පළ කෙරිණි.

වින්දිත දැරියගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත සංසදය විසින් දැනුම් දෙන ලදී.

එසේම, ළමා අපචාර සිදුවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඊට අදාළ මැදිහත් වීම ඉදිරියේදී සිදු කිරීමට ද එකඟතාව පළ කළේය.

තව ද, ළමා අපචාර සිදුවීම් සම්බන්ධයෙන් වන අධිකරණ ක්‍රියාවලිය වාර්තා කිරීමේදී දරුවාගේ පුද්ගලිකත්වය, ආරක්ෂාව සහ ආත්ම ගරුත්වය රැකෙන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාව මත මාධ්‍ය සහ අධිකරණ කටයුතු සඳහා මාර්ගෝපදේශයක් සකස් කළ යුතු බවටත්, ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ ඇති අනු කමිටුව මැදිහත් වීමටත් තීරණය විය.

ළමා අපයෝජන නඩු කටයුතුවලදි මතු වන නීතිමය සහ ප්‍රායෝගික බාධා මගහරවා ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ ඇති අනු කමිටුව කටයුතු කරනු ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments