Homeදේශීයයාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහාම නතර කරන්න

යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහාම නතර කරන්න

යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහාම නතර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී තිබේ.

ඒ එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට අදාළව පාරිසරික වාර්තාවක් ලබාගෙන නොමැති බවට හෙළිවීමත් සමඟය.

යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදිකෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 සැප්තැම්බර් මස 01 වනදා ආරම්භ වුණි.

දිගු කාලීන සැලැස්මක් යටතේ මණ්ඩතිව් දූපත ජාත්‍යන්තර මට්ටමේ පහසුකම්වලින් සමන්විත ‘ක්‍රීඩා නගරයක්’ බවට පත්කිරීම පිළිබඳ සැලසුමද එම අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම ක්‍රීඩා නගරය පිහිනුම් තටාකාංගණයක්, අනෙකුත් ක්‍රීඩාවලින් සමන්විත අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, තරු පන්තියේ හෝටල් හා අවන්හල්, සුඛෝපභෝගී මහල් නිවාස, සාප්පු සංකීර්ණ මෙන්ම විනෝදාස්වාද මධ්‍යස්ථානවලින්ද සමන්විත වනු ඇත.

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අදියර හතරක් යටතේ ඉදි කිරීමට නියමිත අතර එහි පළමු අදියර ලෙස තරග පැවැත්විය හැකි මට්ටමට ක්‍රීඩාංගණය සහ ක්‍රීඩාගාරය ඉදිකෙරෙනු ඇත.

දෙවැනි අදියර යටතේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය සහ මාධ්‍ය කුටියද, තෙවැනි අදියර යටතේ සෙසු ප්‍රේක්ෂකාගාර ඉදිකිරීමටද, අවසන් අදියරේදී විදුලි අලෝක පද්ධතිය ස්ථාපිත කිරීමටද නියමිතය.

යාපනය, වෙලනෙයි ප්‍රාදේශීය සභාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දී ඇති භූමියක ඉදි කෙරෙන මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ 40,000කට ආසන්න ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තරග නැරඹීමේ අවස්ථාව හිමි වේ.

එසේම ජාත්‍යන්තර මට්ටමේ දිවා/රාත්‍රී තරග පැවැත්වීමේ පහසුකම් සහිතව ශ්‍රී ලංකාවේ ඉදිවන පස්වන ක්‍රීඩාංගණය ලෙසද, ජාත්‍යන්තර තරග පැවැත්විය හැකි හත් වන ක්‍රීඩාංගණය ලෙසද යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉතිහාස ගතවනු ඇතැයි වාර්තා පළ විය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments