Homeදේශීයඉදිරියේදී තවත් ආපදාවක්

ඉදිරියේදී තවත් ආපදාවක්

ජාතික ජන බලවේගය(NPP) විසින්, මතභේදයට තුඩු දුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්පූර්ණයෙන්ම ඉවත් කරගැනීම සදහා දුන් පොරොන්දු පසෙකලා “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත” නමින් නව පනත් කෙටුම්පතක් හඳුන්වා දී ඇත.

මෙය මානව හිමිකම් සුරැකෙන වැඩිදියුණු කිරීමක් ලෙස ඉදිරිපත් කළ ද, ගැඹුරින් පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ පැරණි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) පනතේ තිබූ වඩාත් මර්දනකාරී ලක්ෂණ ඒ ආකාරයෙන්ම ආරක්ෂා කර ඇති බවයි. ඊටත් වඩා, එය ඔබගේ සහ මාගේ, එනම් සියලුම පුරවැසියන්ගේ ඩිජිටල් නිදහසට සහ පෞද්ගලිකත්වයට සැලකිය යුතු නව තර්ජන ද පවතී. එසේම, මෙම නව නීතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට ඉදිරිපත් කළ ද, පරිපාලනමය රැඳවුම්, හමුදා බලතල සහ පුළුල් අර්ථකථන – අපරාධ ඇතුළු PTA හි මූලික ලක්ෂණ එයට වඩා ප්‍රභලව අනුකරණය කරයි.

මෙම පනත් කෙටුම්පත ට මහජන අදහස් ලබා ගැනිම සදහා මාසයක කාලයක් විවෘත කර ඇත. නව “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත, අංක 2026” යටතේ පුළුල් කථන අපරාධ (Broad speech Offences) අර්ථ දක්වා ඇති ආකාරය, එම නීතියේ මූලික ගැටළුකාරී ලක්ෂණයකි. මෙම පනත යටතේ අදහස් ප්‍රකාශ කිරීමේ වැරදි පුළුල් ලෙස ආවරණය කර ඇති අතර, එය ඩිජිටල් සන්නිවේදනයන්ට දරුණු ලෙස බලපානු ඇත.යෝජිත “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත”[අංක 2026] එය පවසන ආකාරයේ ප්‍රතිසංස්කරණයක් නොවේ. ඒ වෙනුවට, එය ඩිජිටල් යුගයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට, පෞද්ගලිකත්වයට සහ සන්නිවේදනයේ අඛණ්ඩතාවයට එල්ල වීමට නියමිත බරපතල තර්ජනයකි. එසේම මර්දනකාරී පනතක් වන Online Safety Act (OSA) මේ මොහොතේ ලංකාව තුළ නීතියක් ලෙස පවතින විට එම අවදානම දෙගුණ-තෙගුණ වී පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට බරපතල තර්ජනයන් එල්ල කරනු ඇත.

මෙම කෙටුම්පත නීතියක් බවට පත්වීමට පෙර, ඩිජිටල් අයිතීන් ඇතුලු මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ඔබේ හඬ අවදි කිරීම දැන් වෙන කවරදාටත් වඩා තීරණාත්මක ය. ඔබ නිහඬව සිටිනවාද? පශ්චාත් ආපදා සමයක වුවත් පුරවැසියන් නිහඩව සිටියහොත් සිදු වූ ආපදාවට වැඩි – අයිතිවාසිකම් පිළිබද ආපදාවක් ඉදිරියේදී සිදුවිය හැකිය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments