වෙළෙඳසැල් වලින්, පාරිභෝගිකයින් සඳහා සිලි සිලි බෑග් වැනි පොලිතීන් මලු නොමිලේ ලබාදීම, තහනම් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
එහි සභාපති තිලක් හේවාවසම් මහතා පැවසුවේ,යම් පාරිභෝගිකයෙකු සිලි සිලි බෑගයක් ලබාගන්නේ නම්, ඒ වෙනුවෙන් අමතර මුදලක් අය කරන බවයි.
සිලි සිලි බෑග් භාවිතයෙන් සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා මේ පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.
ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු අද සිට නොමිලේ ලබාදීම නොහැකි බවට සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණේ පසුගියදායි.
එහි දැක්වෙන්නේ නොමිලේ ලබා නෙදෙන ෂොපින් බෑග් ඇතුළු බහාලුම් මලු සඳහා පාරිභෝගිකයාගෙන් අයකරන මුදල බිල්පතෙහි සඳහන් කළ යුතු බවයි.
2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරි පනතේ 10(1) ආ 2 වගන්තිය යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැවරී ඇති බලතල ප්‍රකාරව අඩු ඝනත්වයෙන් යුතු පොලිඑතිලින් සහ රේඛීය අඩු ඝනත්වයෙන් යුතු පොලිඑතිලින් මලු සදහා අයකරනු ලබන මිල වෙළදුන් විසින් පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතු බවට අදාල ගැසට් නිවේදනයේ දැක්වෙනවා.



