පොලීසියට අලුතින් බඳවා ගත් නිලධාරීන්ගෙන් 15-20 % ක පමණ පිරිසක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
මත්ද්‍රව්‍ය හා සම්බන්ධ චෝදනා මත මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා පොලිස් නිලධාරීන් 68 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි ද ඇමතිවරයා කීවේය.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් භික්ෂු සංස්ථාව තුළත් සිටින බවත්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අවුරුදු 14-15 වයසේ පාසල් දරුවනගේ සිට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව දක්වා වූ ශිෂ්‍ය සමූහය අතර බෙහෙවින්ම ව්‍යාප්ත් වෙමින් ඇති බවත් පැවසු ඇමතිවරයා පද්ධතියක් ලෙස ගත්විට මේ පරිහානිය සමස්ත සමාජය පුරා ව්‍යාප්ත වී ඇති බව අනාවරණය කළේය.
පේරාදෙණිය හන්දෙස්ස මාම්පිටිය ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත මත්ද්‍රව්‍ය වලට යොමු වූවන්ට ප්‍රතිකාර ලබාදීමේ හා පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යම පළාත් මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීමේ උත්සවයේ දී ඇමැතිවරයා මේ බව පැවසුවේය.
එහි දී අමාත්‍ය ආනන්ද විජේපාල මෙසේද ප්‍රකාශ කළේය.
බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින්ගෙන් 72 % ක්ම මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වැරදි වලට අත්අඩංගුවට පත් වූවන්. බන්ධනාගාර පුනරුත්ථාපන මධ්‍යස්ථාන නොවී අපරාධකරුවන් බිහි කරන මධ්‍යස්ථාන බවට පත්වෙමින් තිබෙන ස්වභායක් දකින්න ලැබෙනවා. මේ සම්බන්ධව අධිකරණ ඇමැතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා. බන්ධනාගාර තුළ සිදුවන ජාවාරම් නතර කරන්න එතුමා කටයුතු කරමින් සිටිනවා.
තවත් දින 10-12 ක් ඇතුළත මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම සඳහා ජාතික ව්‍යාපාරයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනවා.ආගමික නායකයින්, අධ්‍යාපන අමාත්‍යාංශය, පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්,අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, පොලීසිය, ජනමාධ්‍ය ආයතන, පළාත් පාලන ආයතන ආදි සියල්ල එකතු කරගත් වැඩපිළිවෙළක් තමයි අපි ඉදිරියට ගෙන යෑමට සැලසුම් කර තිබෙන්නේ. රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස මේක ක්‍රියාත්මක කරනවා. ඇමතිවරයා පැවසුවේය.



