ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශ්ව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් හා සෙසු වග උත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේ ය.
මෙම පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබිණි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වග උත්තරකරුවන්ට මෙතෙක් නොතීසි ලැබී නොමැති බව සඳහන් කළේ ය.
නඩුවට ඉක්මන් දිනයක්
පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සඳහන් කළේ, මෙම නඩුව සලකා බැලීම සඳහා ඉක්මනින් දිනයක් ලබා දෙන ලෙස ය.
ඒ අනුව, වගඋත්තරකරුවන්ට යළි නොතීසි නිකුත් කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දෙන ලදී.



