Homeදේශීයකථානායක නිල නිවස "පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයක්" බවට

කථානායක නිල නිවස “පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයක්” බවට

කථානායකවරයාගේ නිල නිවස “පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයක්” බවට පරිවර්තනය කිරීම පිළිබඳව යෝජිත වැඩපිළිවෙළට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාව හිමි විය.

ඒ අනුව මාස හයක ආරම්භක කාලයක් සඳහා මධ්‍යස්ථානයේ පදනම් රාමුව සැලසුම් කිරීම සහ ව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය, උපදෙස් දීම සහ මෙහෙයවීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකු ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස පත්කිරීමටද කාරක සභාවේ අනුමතිය හිමිවිය.

මෙම කරුණු සාකච්ඡා වුයේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේදී එම යෝජනාව සළකාබැලූ අවස්ථාවේදීය.

රජයේ සියලු අංශ ඔස්සේ ව්‍යවස්ථාදායක සහ ආණ්ඩුකරණ හැකියාවන් ශක්තිමත් කිරීමේ මූලික ඉලක්කය ඇතිව මෙම යෝජිත මධ්‍යස්ථානය මගින් , උසස් පර්යේෂණ පහසුකම්, විශේෂිත පුහුණුව සහ ප්‍රතිපත්ති විශ්ලේෂණයන් සඳහා ප්‍රවේශය සැපයීම සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් කථානායකතුමාගේ පෞද්ගලික ලේකම්වරයා,මෙම මධ්‍යස්ථානය පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර , මේ සඳහා වූ මූලික අරමුදල් පාර්ලිමේන්තු ප්‍රතිපාදන මගින්ද, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය වැනි ජාත්‍යන්තර සංවිධාන සමඟ ඇති කර ගත හැකි හවුල්කාරිත්වයන්ගෙන් ද ලබා ගැනීමට අපේක්ෂා කරන බව පැවසීය. එමෙන්ම රජයේ ප්‍රදාන, පරිත්‍යාගශීලීන්ගේ සහාය සහ විශේෂිත පුහුණු වැඩසටහන් සඳහා ලබාගැනීමට අපේක්ෂිත ගාස්තු ඔස්සේ මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට සැලසුම් කර ඇත.

මෙහිදී අදහස් දක්වමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ සභානායක බිමල් රත්නායක මහතා මෙම යෝජනාව පිළිබඳව සිය ප්‍රසංශාව පලකළ සිටියේය.ඒ අනුව විෂයමාලා සංවර්ධනය, පාඨමාලා ව්‍යුහය, අධ්‍යයන වැඩසටහන්, පාඨමාලා සඳහා නියමිත පැය ගණන් වෙන් කිරීම සහ ඇගයීමේ ක්‍රම වැනි අධ්‍යයන අංශ කෙරෙහි මුලික අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය ද සභානායකවරයා මෙහිදී අවධාරණය කළේය. එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික සහ වෘත්තීය සංවර්ධනය පිළිබඳවද මෙම මධ්‍යස්ථානය මගින් අවධානය යොමු කිරීමේ වැදගත්කම මෙන්ම මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේදී ඒ සඳහාවූ ජාත්‍යන්තර ආකෘති අධ්‍යයනය කිරීමේ සහ දැඩි මූල්‍ය වගවීම සහතික කිරීමේ වැදගත්කම ද සභානායකවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් අවධාරණය කර සිටියේය.

තවද මෙහිදී අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, ව්‍යවස්ථාදායක ලේඛන, පර්යේෂණ සහ පාර්ලිමේන්තු වාර්තා සඳහා ඩිජිටල් සහ භෞතික ගබඩාවක් සංවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. එමෙන්ම මෙම මධ්‍යස්ථානය තවත් විශේෂඥ ආයතන සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමද පෙන්වාදුන්නේය.

එමෙන්ම මෙහිදී කරුණු දක්වමින් කථානායකවරයා,මෙම මධ්‍යස්ථානය ජාත්‍යන්තර ආයතන, චින්තන මණ්ඩල සහ විද්‍යාත්මක ආයතන සමඟ දැනුම් හුවමාරුව සහ වෘත්තීය සංවර්ධනය සඳහා වැදගත් මධ්‍යස්ථනයක් වන බව පෙන්වා දුන්නේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments