Homeදේශීයඅඳුරු මතකයට ගෙවෙන 42 වසර

අඳුරු මතකයට ගෙවෙන 42 වසර

ලංකා ඉතිහාසයේ සිදුවුණු අඳුරු පරිච්ඡේදයක් ලෙස 1983හි සිදුවූ වර්ගවාදී කැ‍රැල්ල, එසේත් නැතිනම් ‘කළු ජූලිය’ ඇතිවී අදට වසර 42කි.

මෙයට මුලික හේතුව වන්නේ දෙමළ ඊලාම් විමුක්තිකාමී සංවිධානය (LTTE සංවිධානය) විසින් සැඟවී කරන ලද පහර දීමකින් හමුදා සෙබළුන් 13 දෙනෙකු මිය යෑමයි. කොටි සංවිධානය විසින් එල්ල කළ මෙම ප්‍රහාරය 1983 ජූලි මස 15 වන දින යුද හමුදාව විසින් චාවකච්චේරි ප්‍රදේශයේ දී එල්ල කළ ප්‍රහාරයකින් මරණයට පත්වූ ලූකස් චාල්ස් ඇන්තනී නම් කොටි සංවිධානයේ ප්‍රබල නායකයෙකු වෙනුවෙන් පළිගැනීමට එල්ල කළ ප්‍රහාරයක් බව කියැවේ. මෙම ප්‍රහාරයේ සැලසුම්කරු වූ සෙල්ලක්කිලි නම් කොටි නායකයා ද ප්‍රහාරය අතරතුර දී මරණයට පත්ව තිබුණි.

එවකට පැවති රජය විසින් මියගිය හමුදා සෙබළුන්ගේ දේහයන් ඥාතීන් වෙත ලබා දීමෙන් පසු දිවයිනේ විවිධ ස්ථාන වල කලබලකාරී තත්ත්වයන් උද්ගත වේ යැයි උපකල්පනය කිරීම නිසා, රජය විසින් හමුදා ගෞරව සහිතව එම සිරුරු බො‍රැල්ල කනත්තේ මිහිදන් කිරීමට තීරණය කළේය. මෙය මියගිය හමුදා සෙබළුන්ගේ දේහයන් ඔවුන්ගේ ගම්වල මිහිදන් කිරීමේ එවකට පැවති සම්ප්‍රදායට ද එරෙහිව යාමක් ද විය. එම නිසා, රජය විසින් ජූලි 24 වන දා මියගිය සෙබළුන්ගේ දේහයන් ගුවන් මගින් කොළඹට ප්‍රවාහනය කරනු ලැබීය.

අවමංගල්‍ය උත්සවය ජූලි 25 වන දා සවස 5ට පැවැත්වෙන බවට ප්‍රසිද්ධ කර තිබූ අතර ඒ සඳහා බො‍රැල්ල සුසාන භූමිය අවට තුන්දහසකට අධික පිරිසක් ‍රැස්ව සිටියහ. නමුත් සවස 7 පමණ වන තුරුත් සෙබළුන්ගේ දේහයන් සුසාන් භූමියට ‍රැගෙන නොඒම හේතුවෙන් කෝපයට පත් ජනතාව, දේහයන් ඥාතීන් වෙත භාරදෙන මෙන් ඉල්ලා කලබලකාරී ලෙස හැසිරීමට පටන්ගත්හ. ඒ වන විට සුසාන භූමිය අවට ‍රැස්වී සිටි පිරිස 8000කට අධික වූ හෙයින් කැරලි මර්ධන ඒකකය විසින් කඳුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර පිරිස පාලනය කිරීමට පියවර ගැනිණි. මෙම හේතූන් නිසා එවකට බලයේ සිටි ජනපතිවරයා විසින් හමුදා ගෞරවාචාර සහිත අවමඟුල අවලංගු කර, සෙබළුන්ගේ දේහයන් ඥාතීන්ට ලබාදීමට තීරණය කළේය. මෙම තීරණයත් සමඟම රත්මලාන ගුවන්තො‍ටුපළේ සිට බො‍රැල්ලට ‍රැගෙන එමින් තිබූ සිරුරු ඒ වෙනුවට හමුදා මූලස්ථානය වෙත ප්‍රවාහනය කෙරුණි.

නමුත් බො‍රැල්ල සුසාන භූමිය අවට තවමත් ‍රැස්ව සිටි ජනතාවට මෙම තීරණය දැනුම් දුන්නේ රාත්‍රී දහයට පමණයි. මෙම තීරණය දැනුම් දීමත් සමඟම ඒ වනවිටත් කලහකාරීව සිටි පිරිස් විසිර යෑම ආරම්භ විය. එම පිරිසෙන් බො‍රැල්ල ඩී. එස්. සේනානායක මාවත දෙසට ගමන් කළ එක් කණ්ඩායමක් බො‍රැල්ල මංසංධිය ආසන්නයේ පිහිටි නාගලිංගම් වෙළඳසැලට අලාභ හානි සිදුකළේය. මෙම පිරිසට තව තවත් කළහකාරීන් එකවීමත් සමඟම බො‍රැල්ල අවට පිහිටි, දමිළයින්ට කිසියම්ම හෝ සම්බන්ධයක් තිබූ සියළුම ගොඩනැගිලි, නිවෙස්, හා වෙළඳසැල් කොල්ලකා, ගිනිබත් කොට විනාශයට පත්කෙරුණි.

බො‍රැල්ලෙන් ආරම්භ වූ මෙම විනාශකාරී ජාතිවාදී ‍රැල්ල දෙමටගොඩ, මරදාන, ග්‍රෑන්ඩ්පාස්, තිඹිරිගස්යාය, හැටේවත්ත, කොටහේන, නාරහේන්පිට, කිරුළපන, වැල්ලවත්ත, දෙහිවල, මෝදර, හා කොපඤ්ඤවීදිය ආදී ප්‍රදේශවලට පැතිර ගිය අතර මරා දමන ලද වැසියන්ගේ සිරුරු මාර්ග අයිනේ තැන තැන වැටී තිබුණි.

කෙසේවෙතත් හමුදා සෙබළුන් ඝාතනය කොට ඔවුන්ගේ අවිආයුධ රැගෙන කොටි පලායාමෙන් වූ සිදුවීමෙන් කුපිත වූ සිංහල කලහකාරී පිරිස් විසින් සතියක පමණ කාලයක් තුළ දී 387ත් 3000ත් අතර දෙමළ වැසියන් පිරිසක් ඝාතනය කරන ලදී. දෙමළ වැසියනට අයත් 23,000ට අධික ප්‍රමාණයක් නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන ගිනිබත් කොට විනාශ කිරීමට යෙදුණි. මෙම සිදුවීම් නිසා තවත් 150,000ක් පමණ දෙමළ වැසියන් අවතැන් වූ අතර ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගෙන් විශාල පිරිසක් කැනඩාව හා ඕස්ට්‍රේලියාව ආදී රටවල සරණාගතයින් ලෙස සංක්‍රමණය වීමද සිදුවිය.

එවකට පැවති රජය විසින් ජාතිවාදී අපරාධකරුවන්ට එරෙහිව පියවර නොගත්තත්, ’83 ජූලි 30 වන දා නිකුත් කරන ලද විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනතා විමුක්ති පෙරමුණ, නව සමසමාජ පක්ෂය, හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය මෙම කෝලාහල ඇවිලවූ බවට ප්‍රකාශ කරමින් තහනම් කරනු ලැබීය. එම පක්ෂයන්හි නායකයින් රජය මගින් අත්අඩංගුවට ගෙන මීගමුව බන්ධනාගාරයේ රඳවනු ලැබූ අතර ඇතැම් නායකයින් සැඟව සිටි අතර, මාස දෙකක පමණ කාලයකට පසු ඇතැම් නායකයින් නිදහස් කරනු ලැබීය.

මෙම සිදුවීම් මාලාව ’88 – ’89 සමයේ දකුණේ ඇති වූ තරුණ කැ‍රැල්ලට මඟපෑදූ බව බොහොමයක් දෙනා විසින් එල්ල කරන චෝදනාවකි. එමෙන්ම මෙම සිදුවීම් නිසා ඉන්දියාව විසින් ලාංකික දෙමළ ත්‍රස්තවාදී සංවිධානවලට එරටදී යුධ පුහුණුව ලබා දීම සිදුකිරීම ඇරඹූ අතර, ඉන්දියාව, නෝර්වේ, හා ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවල් වලට ශ්‍රී ලංකාවේ කටයුතු වලට මැදිහත් වීමට හේතුවක් ද විය.

එපමණක් ද නොව LTTE සංවිධානයට ජාත්‍යන්තර සහයෝගය ලැබීමත්, දෙමළ ඩයස්පෝරාව ශක්තිමත් වීමත් ’83 කළු ජූලියේ අයහපත් ප්‍රතිපලයි.

කුමන මත පළවුවත් 1983 හි ‘කළු ජූලිය’ ශ්‍රී ලංකාව විසින් මුහුණ දුන් 30-අවුරුදු සිවිල් යුද්ධයට මග පෑදූ එක් සිදුවීමක් බව පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත. 2025 වසරේ ජූලි මසට යෙදෙන්නේ ඒ අඳුරු මතකයට ගෙවෙන 42 වන වසරයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments