වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකාලපය සම්බන්ධයෙන් සොයා බලන කමිටුවේ අවසන් වාර්තාව එළැඹෙන සතිය තුළ කථානායකවරයා වෙත භාරදීමට සැලසුම්කර තිබෙනවා.
මේ වන විට අදාළ වාර්තාව සකස් කරමින් පවතින බවයි එම කමිටුව සඳහන් කළේ.
දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විශමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කරනු ලැබුවා.
එම කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා කටයුතු කරනු ලබනවා.
එහි සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරු කටයුතු කරනු ඇති.
මෙම පරීක්ෂණ කමිටුව අවස්ථා 10කට වැඩි ගණනකදී රැස්වී සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර ගනු ලැබුවා.
එමෙන්ම ජුලි මස 16 වැනිදා සිට එම පරීක්ෂණ කමිටුව දිනපතා රැස්වී සාක්ෂි සටහන් කර ගැනීමට පියවර ගෙන තිබුණා.
ඒ අනුව පරීක්ෂණ කමිටුවේ සාක්ෂි සටහන් කර ගැනීම පසුගියදා සම්පූර්ණයෙන්ම අවසන් කරනු ලැබුවා.



