Homeදේශීය'ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහන අද

‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහන අද

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී නිල වශයෙන් දියත්කෙරේ.

මෙරට දිළිඳු බව දුරැලීම සඳහා එමඟින් ගන්නා ක්‍රියාමාර්ග සහ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනැඟීමට එයින් දෙන දායකත්වය ආදිය පිළිබඳ ප්‍රජා ශක්ති මෙහෙයුම් කමිටුවේ ලේකම් සහ කැඳවුම්කරු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (සංවර්ධන-පරිපාලන) කපිල ජනක බණ්ඩාර දැක්වූ අදහස් ඇසුරින්.

‘ප්‍රජා ශක්ති යනු තවත් සුබසාධන වැඩපිළිවෙළක් ද එසේත් නැතහොත් එහි අන්තර්ගතය සහ ඉකුත් ආණ්ඩු කාලවලදී පැවති මෙවැනි වැඩසටහන් අතර ඇති වෙනස්කම් මොනවාද යන්න සලකා බැලීම මූලිකව කළ යුතුය. සැබැවින්ම ආණ්ඩුවේ මූලික ප්‍රතිපත්තිය බවට පත්ව තිබෙන්නේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන්නයි. ඒ සඳහා රට තුළ ජනවරමක් ද ලැබී තිබේ. ප්‍රජාශක්ති වැඩපිළිවෙළ යනු එය යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා ගෙන එනු ලබන වැඩපිළිවෙළකි. එය ස්ථාපිත කිරීම සඳහා වැඩසටහන් තුනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අතරින් රටත් සමාජයත් පොහොසත් වීම මූලික අංගයකි. එහෙත් ආර්ථිකය වර්ධනය වූ පමණින් රටක් දියුණු වන්නේ නැත. ඒ ආර්ථික ප්‍රතිලාභ සියලු ජන කණ්ඩායම් වෙත ළඟා කර ගැනීමට හැකියාව ඇති කළ යුතුය. එහිදී ආර්ථික ක්‍රියාවලිය ගම දක්වා තල්ලු කරගෙනයෑම මෙන්ම ඒ සඳහා ගමේ දායකත්වය ලබා ගැනීම ද කළ යුතුය. මෙහිදී ගමේ සියල්ලන්ටම ආර්ථිකය වෙත දායකත්වය ලබා දීමට හැකියාවක් නැත. එහිදී රැකවරණය සැලසිය යුතු පිරිසක් සිටිති. ඔවුන් හඳුනා ගැනීම සහ රැකවරණය දීම ද කළ යුතුය. ආර්ථික සාධාරණත්වය ද මේ වැඩසටහනට අදාළය. ප්‍රජාව සවිබලගැන්වීම මෙම වැඩසටහනේම එක් අංගයකි. ‘ප්‍රජා ශක්ති’ යනු මෙම සියලු අංග ඇතුළත් වැඩසටහනයි. ජාතිය සවිබලගැන්වීම ප්‍රජා ශක්ති වැඩසටහනේ ප්‍රධාන අංගයකි.

එමෙන්ම “පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක්” පිළිබඳ ද සාකච්ඡා කළ යුතුය. ලස්සන ජීවිතයක් ගොඩනඟා ගැනීම සඳහා කොටස් දෙකක් පිළිබඳ අවධානය යොමු කළ යුතුය. එහිදී පරිසරය ලස්සන වීමත් ජීවත් වීම සඳහා සුවපහසු තැනක් බවට පත් කිරීමත් කළ යුතුය. එහෙත් පරිසරය සුන්දර කිරීම සහ ජීවිතය ලස්සන කිරීම යන සංයෝගය මඟින් මෙම වැඩසටහන පූර්ණත්වයට පත්වේ.

ප්‍රජා ශක්ති වැඩසටහන සඳහා උපායමාර්ගික ප්‍රවේශයක් ගතහොත් පරිපූර්ණ ජීවිතයක්, නවීන ජීවිතයක්, අභිමානවත් ජීවිතයක්, සුවපහසු රටක්, ආරක්ෂිත රටක්, ධනවත් ජාතියක්, නොසැලෙන රටක් යන්න ද ඊට අයත්ය. මෙහිදී සුවපහසු රටක්, ආරක්ෂිත රටක්, ධනවත් ජාතියක්, නොසැලෙන රටක් යන අංග ගොඩනැඟීම රජය සතු වගකීමකි. කෙනෙකුට පරිපූර්ණ ජීවිතයක් ගොඩනැඟීම සඳහා ධනවත් රටක්, පරිපූර්ණ ජීවිතයක් ගොඩනැඟීම සඳහා මේ කරුණු අවශ්‍ය වේ.

එහෙත් පරිසරය ලස්සන වූ පමණින්ම රටක් ධනවත් වන්නේ නැත. “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනැඟීම සඳහා මූලික පදනම සහිත වැඩසටහනකි.

ඒ අනුව මෙය වර්තමානය තුළ නඩත්තු කරගෙනයෑමට හැකියාවක් තිබේ. එහෙත් එසේ නඩත්තු කළ පමණින් රටක් ඉදිරියට ගමන් කරන්නේ නැත. එසේම, ජාතික ජන බලවේගය රජය වෙත ජනතාව වරමක් දී තිබෙන්නේ සුපුරුදු රටාව තුළ රට පුරුදු ක්‍රමයට නඩත්තු කරගෙන යෑමට නොවේ. අලුත් මාර්ගයක් , නව ක්‍රමවේදයක් වෙත රට යොමු කිරීම සඳහාය.

ඒ අනුව අද ආරම්භ කරනු ලබන ප්‍රජා ශක්ති වැඩසටහන මඟින් සිදු කරනු ලබන මූලික කරුණ වන්නේ ඔසවා තබන ලද ආර්ථිකයේ ප්‍රතිලාභ සමස්තය වෙත ලබා දීමට හැකි වටපිටාවක් නිර්මාණය කිරීමය. වැඩිදියුණු වන ආර්ථිකයට දායකත්වය දී එහි ප්‍රතිලාභ තවදුරටත් ජනතාව වෙත ලබා දීම ප්‍රජා ශක්ති වැඩසටහනේ මූලික අංගයකි.

RELATED ARTICLES

Most Popular

Recent Comments