Homeදේශීයඕනෑම පරීක්ෂණයකට තමන් සතුටින් ඉදිරිපත් වෙනවා

ඕනෑම පරීක්ෂණයකට තමන් සතුටින් ඉදිරිපත් වෙනවා

අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලේ සඳහන් කරුණු සියල්ල සාවද්‍ය තොරතුරු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

එම පැමිණිල්ලේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකට තමන් සතුටින් ඉදිරිපත් වන බවද ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

නමුත් මෙවැනි ප්‍රචාර යවා අසත්‍ය චෝදනා නගමින්, කිසිදු වංචාවකට හෝ දූෂණයකට සම්බන්ධ නොමැති තමන්ගේ චරිතය ඝාතනය කිරීමට උත්සාහ කිරීම තරයේ හෙළා දකින බවද ඔහු අවධාරණය කරයි.

ඉකුත් 2019 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එප්පාවල සමූපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක මුදලක් අවභාවිත කළා යැයි සඳහන් කරමින් එප්පාවල සමූපකාර සමිතියේ උප සභාපති ලක්ෂ්මන් ජයවර්ධන විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ල මගින් දක්වා ඇත්තේ එප්පාවල සමූපකාර සමිතිය මගින් 2017 වසරේදී සම්මන්ත්‍රණශාලා ගොඩනැගිල්ලක් දෙන ලෙසට ඉල්ලීමක් කළ බවත්, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධූරය දැරූ 2019 වසරේ ජනවාරි මාසයේ සිට එහි ඉදිකිරීම් ආරම්භ කළ බවත්ය.

ඊට අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් එහි තිබූ කඩකාමර 7ක් කඩා ඉවත් කර ඇති අතර එහි තිබූ වටිනා දොර, ජනෙල්, උළුවහු, සෙවිලිම් සීට් ඇතුළු භාණ්ඩ අස්ථානගත වී ඇති බවද එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

තවද උත්සව ශාලා ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් අදාළ ඉඩම ලබාගෙන තිබෙන අතර ඒ සඳහා රුපියල් කෝටි 13ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබූ බව පෙන්වා දෙන පැමිණිලිකරු එම ගොඩනැගිල්ල ඉදිකිරීමට යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගැනීමට තීරණය කළ බැවින් රුපියල් හත් කෝටි හැත්තෑ තුන් ලක්ෂයකට මෙහි ඉදිකිරීම් ආරම්භ කළ බවද පැමිණිල්ලේ සඳහන් කර ඇත.

ගොඩනැගිල්ල ඉදිකිරීම් ආරම්භ කිරීම වෙනුවෙන් පළමු අදියර යටතේ රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් ලබා දී තිබෙන අතර මේ වන විට ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු අතරමග නතර වී තිබෙන බවත්, මෙහි මුදල් අවභාවිත කිරීමක් සිදුව තිබෙන බැවින් අදාළ ගොඩනැගිල්ල ලබා ගැනීම ගැටලුවක් වී ඇති බවත්, පැමිණිලිකරු සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments