Homeදේශීයමාර්තු 12 සිස්ටම් චේන්ජ් ගැන අහනවා

මාර්තු 12 සිස්ටම් චේන්ජ් ගැන අහනවා

පැහැදිළි බහුතරයක් නොලද පළාත් පාලන ආයතන ප්‍රධානීන් තෝරාගැනීම උදෙසා තිබෙන පළමු රැස්වීම් පිළිබඳව ‘මාර්තු 12 ව්‍යාපාරය’
විශේෂ අවධානය යොමුකොට ඇති බව එම ව්‍යාපාරය සඳහන් කරයි.

ඒ අනුව යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට ඇති බලවත්ම බාධාව වන්නේ මහජන කැමැත්ත දිනාගත් ජනතා නියෝජිතයන්ගේ යහපත් නොවන ක්‍රියාකලාපය බවත් කොළඹ මහනගර සභාව ප්‍රමුඛ පළාත් පාලන ආයතන රාශියක් හා පළවන මාධ්‍ය වාර්තා, සභිකයන් දෛනිකව පළකරන අදහස් සැලකීමේදී ඒ බව තහවුරු වන බව එම ව්‍යාපාරය සඳහන් කරයි.

එක් එක් පාර්ශ්ව වෙත සහය දැක්වීම පිටුපස යම් මූල්‍යමය ප්‍රදාන හා වෙනත් වරප්‍රසාද ද හේතුවක් වී ඇතැයි ජනසමාජය තුළ හුවමාරු වන අදහස් කිසිසේත් ම පළාත් පාලනයේ අනාගතය සුරක්‍ෂිත නොකරන බව එම ව්‍යාපාරය නිවේදනය කරයි.

එය ජනවරමින් දිනාගත් සභික ධූර වෙන්දේසියේ දැමීමක් බඳු බවත් පශ්චාත් මැතිවරණ සමයේ පුරවැසි සමාජය ලබමින් සිටින ජයග්‍රහණ ඉතා අවම බව කරුණු 04ක් යටතේ ‘මාර්තු 12 ව්‍යාපාරය’ පෙන්වා දෙයි. දේශපාලන අධිකාරියේ අපරිණත හා ආවේගශීලි ප්‍රකාශ, ජනමතය සාවද්‍ය ලෙස නිර්වචනය කිරීම වැනි කරුණු ඒ යටතේ දක්වා ඇත.
පවත්නා ක්‍රියාපටිපාටීන් වෙනස් කිරීම පළාත් පාලන ආයතන තුළින් ඇරඹිය හැකිය

‘සිස්ටම් චේන්ජ්’යනු මෑත කාලීනව ඉමහත් ජනාදරයට පත් සංකල්පයක් බවත් වර්තමානයේ පළාත් පාලන ව්‍යූහය නිර්මාණය කොට ඇත්තේ ප්‍රාදේශීය ආණ්ඩුකරණය සඳහා පක්‍ෂ -විපක්‍ෂ භේද දුරුකොට සියලු දෙනාගේ ශක්තිය අදාළ පළාත් පාලන ආයතනයේ ප්‍රගතිය සඳහා යොදාගත යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම අරමුණින් බව එහි සඳහන්වේ.

එබැවින් එක් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගන්නා ලෙසත්, ආක්‍රමණශීලි දේශපාලන උපක්‍රම හමුවේ ජනතා උදහසට ලක්නොවන ලෙසත් සියලු තේරීපත්වූ සහ තෝරා පත්කරගන්නා ලද සභිකයන්ගෙන් ඉල්ලා සිටින බව ‘මාර්තු 12 ව්‍යාපාරය’ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

එම අවස්ථාවට පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, දේශෝදය ව්‍යාපාරයේ ජාතික සංවිධායක නිශාන්ත ප්‍රීතිරාජ්, අයිරෙස් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක ඇතුළු එහි සාමාජිකයෝ පිරිසක් එකව සිටියහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments