මාර්ග සංවර්ධන අධිකාරියේ හා පළාත් පාලන ආයතනවල අවධානයක් යොමු නොවූ රිය අනතුරු බහුලව සිදුවිය හැකි ස්ථාන 773 ක් හඳුනාගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි. ඉන් ස්ථාන 722 ක්ම රිය අනතුරු බහුලවම සිදුවිය හැකි ස්ථාන බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවැසීය.
මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති ප්‍රධාන මාර්ග ආශ්‍රිතව එවැනි රිය අනතුරු සිදුවිය හැකි ස්ථාන 340 ක් තිබෙන අතර ඉන් ස්ථාන 329 ක්ම අනතුරු බහුලව සිදුවිය හැකි ස්ථානය. පළාත් මාර්ග සංවර්ධන අධිකාරි සීමාවන්ට අයත් අනතුරු සිදුවිය හැකි ස්ථාන 156 ක් තිබෙන අතර ඉන් 150 ක් බහුලව අනතුරු සිදුවිය හැකි ස්ථානය. පළාත් පාලන ආයතන සීමාවන්ට යටත් ස්ථාන 277 ක් තිබෙන අතර ඉන් ස්ථාන 243 ක් බහුලව අනතුරු සිදුවිය හැකි ස්ථාන බවට පොලිස් මූලස්ථානයට වාර්තා කර ඇත.
මේ මාර්ග කඩිනමින් ආරක්ෂිත කරන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරියට හා පළාත් පාලන ආයතන වෙත උපදෙස් දී තිබෙන බව වැඩබලන පොලිස්පතිවරයා කීවේය.
මේ අතර තම පොලිස් බල ප්‍රදේශවල හඳුනාගෙන ඇති මෙම අනාරක්ෂිත ස්ථාන, මාර්ග සංවර්ධන අධිකාරිය හෝ පළාත් පාලන ආයතන සම්බන්ධ කර ගනිමින් කඩිනමින් ආරක්ෂිත කරලීම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සහ රථවාහන අංශ ස්ථානාධිපතිවරුන්ගේ වගකීම හෙයින් එසේ නොකොට එම ස්ථානවලම අනතුරු සිදුවන්නේ නම් නිසැකවම එම නිලධාරීන් දෙපළ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට ද පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.