හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අධිකරණමය කටයුත්තකදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කර තිබෙනවා.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා වෛද්‍ය වාර්තාවන් සම්බන්ධයෙන් සිදු කළ අදහස් දැක්වීමකදී ඇමරිකාවේ සහ ලංකාවේ වෛද්‍යවරුන් සංසන්ධනය කරමින් ලංකාවේ වෛද්‍යවරුන් හොරු යැයි ප්‍රකාශ කිරීම සමස්ථ වෛද්‍ය වෘත්තියටම කළ නිගාවක් බවයි.
වෛද්‍යවරුන්ට කළ මෙම බරපතල චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයා සහ නීතීඥ සංගමයට මේ සම්බන්ධයෙන් ලිඛිතව පැමිණිලි කිරීමට සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කළ බවද චමිල් විජේසිංහ මහතා පවසා සිටියා.
චමිල් විජේසිංහ මහතා පෙන්වා දුන්නේ වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ගුණාත්මක භාවය හෝ සේවාව සොයා බැලීමට මේ රටේ උසාවිය, නීති පද්ධතිය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, සෞඛ්‍ය අමාත්‍යංශය ,මෙන්ම වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය තීරණය කිරීමට ආයතන සංග්‍රහය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවතින බවයි.
එසේ තිබියදී අධිකරණය තුළ අසත්‍ය ප්‍රකාශ කිරීම බරපතල කාරණයක් බවද ඔහු අවධාරණය කළා.
රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාමට අති විශාල කැපකිරීමක් කරන වෛද්‍යවරුන්ට කළ බරපතල අපහාසයක් බවත් මෙවැනි ප්‍රකාශයන් ජනගත වීම හරහා ජනතාව තුළ මෙම සේවාව පිලිබඳව තිබෙන්නා වූ විශ්වාසය බිඳ වැටීමට හේතුවක් වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවදුරටත් පවසා තිබෙනවා.
රටේ පිළිගත් එක් වෘත්තීය කණ්ඩායමක් තවත් පිළිගත් වෘත්තීය කණ්ඩායමක් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයන් කිරීම වෘත්තීය කණ්ඩායම් දෙක අතර දැඩි ලෙස මතභේදකාරී තත්ත්වයන්ට හේතුවක් වන බවද සංගමය අවධාරණය කරනවා.
අයථා ලෙස උපයා ගත් මුදල් භාවිත කරමින් මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවක් පසුගිය මැයි 23 වන දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබුණා
එහිදී, බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දැනුම් දී තිබුණේ, විදේශගතව සිටින බැසිල් රාජපක්ෂ මහතා පුටුවකින් ඇදවැටී අනතුරකට ලක්වීම හේතුවෙන් එදින අධිකරණයට පැමිණීමට නොහැකි බවයි.
මෙම, කරුණු දැක්වීමට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය පැවසූවේ, සැකකරුගේ රෝගී තත්ත්වයක් පිළිබඳ පැමිණිල්ලට නිසි දැනුවත් කිරීමක් කර නොමැති බැවින් ඇප පනතේ 14/1 වගන්ති ප්‍රකාරව කරුණු දැක්වීමක් සිදු කළ යුතු බවයි.
එමෙන්ම, සැකකරුගේ රෝගී තත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා පිළිගත නොහැකි බව ඇය පවසා තිබුණේ, බැසිල් රාජපක්ෂ මහතා අසාධ්‍ය තත්ත්වයනින් ප්‍රතිකාර ගත් බවට කරුණු වෛද්‍ය වාර්තා තුළින් ඉදිරිපත් කර නොමැති අතර ඔහුට ගුවන් ගමන් නුසුදුසු බවට තවත් වෛද්‍යවරයකු නිර්දේශ ඉදිරිපත් කර ඇති බවත් පවසමින්.
ඊට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පැවසූවේ, සිය සේවාදායකයා රාජපක්ෂ පවුලේ කෙනෙකු වීම නිසා නීතිපති දෙපාර්තමේන්තුව සැකකරුට එරෙහිව වරෙන්තු ගැනීමට උත්සාහ කරන බවයි.
තමාට වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් දැනුමක් නොමැති නමුත් ලංකාවේ වෛද්‍යවරු වගේ අමෙරිකාවේ වෛද්‍යවරුත් හොරු යැයි තමා නොසිතන බවත් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පවසා තිබෙනවා.
“ස්වාමීනී නීතිපති දෙපාර්තමේන්තුව නොකල යුතු දෙයක් මේක. මාගේ සේවාදායකයා රාජපක්ෂ කෙනෙක් වීම නිසයි නීතීපති දෙපාර්තමේන්තුව මෙහෙම කටයුතු කරන්නේ.ආයතන නොමග යවලා අපි කටයුතු කරලා නෑ. ඒක පිලිකුල් සහගතයි. මෙතුමිය මේ කියන්න උත්සාහ කරන්නේ මගේ ස්වාදායකයා හොරා කියලනේ. මාගේ සේවාදායකයා නඩු වාර 23කට අධිකරණයෙ ඇවිල්ලා තියෙනවා. මට වෛද්‍ය විද්‍යාව ගැන නම් දැනුමක් නෑ. මම දන්නේ නෑ මගේ සේවාදායකයා ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා ඇත්තද? බොරුද? කියලා. මම හිතන්නේ නෑ ලංකාවේ වෛද්‍යවරු වගේ අමෙරිකාවේ වෛද්‍යවරුත් හොරු කියලා. නීතිපති දෙපාර්තමේන්තුව හරි කැමති මගේ සේවාදයකයා, රාජපක්ෂලා ලොකු ලෙඩක් හැදිලා මැරිලා යනවා නම්. හොඳයි වුණත් නරකයි වුණත් ඒ මිනිස්සුත් ලංකාවේ ඉන්න ඕනේ. මගේ සේවාදයකයා අද ආවේ නැත්තේ අසනිප තත්ත්වය නිසා. ඉදිරි නඩු දිනයේ අධිකරණයට එනවා ඔහු. ඒ නිසා ස්වාමීණි මේ අවස්ථාවේ ඔහුට වරෙන්තු නිකුත් කිරීමක් හෝ ඇප අවලංගු කිරීමක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නෑ.”