Homeදේශීයනවකවධය ගැන නීතිඥ සංගමයෙන් පෙත්සමක්

නවකවධය ගැන නීතිඥ සංගමයෙන් පෙත්සමක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, එහි සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන හරහා, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ සිසුවකු වූ 23 හැවිරිදි චරිත් දිල්ෂාන් දයානන්දගේ ඛේදජනක සියදිවි නසාගැනීම සහ ඊට හේතුවූ බව කියන නවකවධය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

චරිත් දිල්ෂාන් ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් අඛණ්ඩව සහ ම්ලේච්ඡ ලෙස නවකවධයට ලක්කරන ලද බවත්, එය 2025 අප්‍රේල් 26 වන දින අවමන් සහගත සහ කම්පන සහගත සිදුවීමකින් අවසන් වූ බවත් පෙත්සමේ සඳහන් වේ.

සබරගමුව විශ්වවිද්‍යාල බලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, පොලිසිය සහ අනෙකුත් පාර්ශ්වයන් නවකවධයට එරෙහි නීති ක්‍රියාත්මක කිරීමට සහ සිසුන් ආරක්ෂා කිරීමට අපොහොසත්වීම මෙම ඛේදවාචකයට හේතු වී ඇති බව පෙත්සමේ සඳහන් කර ඇත.

නැවත නැවතත් සිදුවීම සහ අපයෝජන සිදුකළ පුද්ගලයන්ට දඬුවම් නොලැබීමේ සංස්කෘතිය ඇතුළු විශ්වවිද්‍යාල පද්ධතිමය සහ ආයතනික අසාර්ථකත්වයන් පෙත්සම මගින් ඉස්මතු කරයි.

එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 11 වගන්ති යටතේ නීතියේ සමාන ආරක්ෂාව සහ වධහිංසාවෙන් නිදහස් වීමේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව එහි සඳහන් වේ.

චරිත් දිල්ෂාන් වෙනුවෙන් යුක්තිය සහ දිගු කලක් තිස්සේ බලා සිටි පද්ධතිමය ප්‍රතිසංස්කරණ පෙත්සම්කරුවෝ මෙමගින් ඉල්ලා සිටිති.

වගකිවයුතු නිලධාරීන් සහ ආයතන වගවීමට, නවකවධ විරෝධී නීති සහ විශ්වවිද්‍යාල රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට, සිසුන් ආරක්ෂා කිරීම සඳහා නිශ්චිත මාර්ගෝපදේශ නියම කිරීමට සහ සෑම සිසුවකුටම ගෞරවයෙන් හා ආරක්ෂිතව අධ්‍යාපනය හැදෑරීමට ඇති අයිතිය පිළිගැනීමට ඔවුහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් විසින් සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු 69 දෙනකු වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.

නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments