පොදු දේපළ පනත යටතේ පවරා ඇති නඩුවකට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව ඇප මත මුදාහැරීමට බදුල්ල මහෙස්ත්‍රාත්වරයා අද නියෝග කළා.
බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ ඇප අයදුම සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ඇප දෙකක් මත මෙලෙස චාමර සම්පත් මන්ත්‍රීවරයා මුදා හැරුණා.
චාමර සම්පත් මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගර ගත කෙරුණේ පොදු දේපළ පනත යටතේ පවරා ඇති නඩුවකට අදාළවයි.
ඌව පළාත් මහ ඇමැති වශයෙන් කටයුතු කරමින් සිටියදී 2016 වර්ෂයේ දී පෙර පාසල් ළමුන් සඳහා පාසල් පොත් බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපොළ පණත යටතේ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ මිලියනයක ශරීර ඇපයක් මතයි.
දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ඉඩමක පිඹුරුපතක් අනුමත කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ඔහුව අද අත්අඩංගුවට ගැනුණා.
2020- 2024 කාලය අතරතුර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මිලාන් ජයතිලක 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සර්වජන බලය පක්ෂයෙන් ඉදිරිපත් වී තිබුණා. හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ මස 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
පසුගිය රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර ගෙන්වීමේ සිදුවීමට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය 16වනදා වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව අමාත්‍යවරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා.
එහිදී අධිකරණය මෙම නියෝගය ලබාදුන්නා.