Homeදේශීයඉන්දු – ලංකා ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්

ඉන්දු – ලංකා ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසුගියදා ඇතිකරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, නීතිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය යි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර නීතියට ද පටහැනි බව පෙත්සම්කරුවන් පෙන්වාදෙනවා.

ඔවුන් චෝදනා කරන්නේ, මෙම අවබෝධතා ගිවිසුමේ අන්තර්ගත කරුණු පිළිබඳව මෙතෙක් මහජනතාව දැනුවත් කර නොමැති අතර එය ජනතාවගේ ව්‍යවස්ථාදායක අයිතිය උල්ලංඝනය කිරීමක් බව යි.

අදාළ අවබෝධතා ගිවිසුම් මඟින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට ද හානි සිදුවී ඇති අතර, ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොර අත්සන් තැබීමට රජය ගත් ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන් නීතියට පටහැනි බව ද පෙත්සම්කරුවන් චෝදනා කරනවා.

එමඟින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වලක්වන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ඊට අමතරව, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 20 ක වන්දියක් අයකර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා

RELATED ARTICLES

Most Popular

Recent Comments