Homeදේශීයඅනුරගේ ඡායාරූපය අයින් වුණ හැටි

අනුරගේ ඡායාරූපය අයින් වුණ හැටි

ජාතික ජනබලවේගයේ මැයි දින රැලිය අතරතුර මාධ්‍යවේදියෙකු ලබා ගත් ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් පළ නොකරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශයෙන් බලපෑම් එල්ල කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ලංකාදීප පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන ළහිරු හර්ෂණ මහතා ලබා ගත් ඡායාරූපයක් මෙලෙස ආන්දෝලනයකට ලක්ව ඇති අතර රජයට සම්බන්ධ ඇතැම් පාර්ශවවල බලපෑම හේතුවෙන් අදාළ ඡායාරූපය ඉවත් කර ගැනීමට ඔහුට සිදුව තිබුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගාලුමුවදොර පිටියේ පැවති ජාතික ජනබලවේගයේ මැයි රැලිය අමතමින් සිය දෑත් සහ මුව ඉහළට අයා සිටින ආකාරය අදාළ ඡායාරූපයෙහි සටහන්ව ඇති අතර එහිදී ජනාධිපතිවරයාගේ පසුබිමින් දිස්වන්නේ, කොමියුනිස්ට් ලාංඡනයේ පොදු තේමාවක් වන මිටිය සහ දෑකැත්ත රැගත් වේදිකා සැරසිල්ලකි.

මෙම ඡායාරූපය ලබා ගත් මාධ්‍යවේදී ළහිරු හර්ෂණ පළමුව එය සිය ෆේස් බුක් ගිණුමට එක් කර තිබු අතර , පසුව සටහනක් තබමින් පවසා සිටියේ එය පළ කිරීමෙන් අනතුරුව ලැබුණු ප්‍රතිචාර හේතුවෙන් ඡායාරූපය ඉවත් කිරීමට සිදු වූ බවයි,

ඒ සම්බන්ධයෙන්, ළහිරු හර්ෂණ තැබූ සටහන පහතින්,

“ජායාරූපයක අන්‍තර්ගතය කියවීම තමාගේ මතය අනුව වෙනස් වේ, ෆොටෝ එක අයින් කිරීමට සිදුවිය.

මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ ඡායාරූප මාධ්‍යවේදී ළහිරු හර්ෂණ අදාළ ඡායාරූපය පළ කිරීමෙන් පසුව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා ලංකාදීප කාර්යාලයට ඇමතුමක් දී අදාළ ඡායාරූපය පළ නොකරන ලෙස ඉල්ලීම් කර ඇති බවයි.

මීට අමතරව ජාතික ජනබලවේගයේ මාධ්‍ය අංශය සම්බන්ධ ඇතැම් පුද්ගලයින් මෙම ඡායාරූපය සමාජ මාධ්‍යයෙහි පළ කළ පිරිස් වෙත එම ඡායාරූපය ඉවත් කරගන්නා ලෙසද ඉල්ලීම් කර තිබුණා.

ඡායාරූප මාධ්‍යවේදියෙකු ලබා ගත් ඡායාරූපයක් මෙලෙස වාරණයට ලක් කිරීම සහ බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවේචනාත්මක අදහස් පළ වී ඇති අතර මෙය මාධ්‍යවේදීන්ගේ නිදහස් ප්‍රකාශන අයිතියට බාධා එල්ල කිරීමක් බව එම පාර්ශවයන් පෙන්වා දෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments