නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වනවිටත් ලක්ෂ 4කට වඩා වැඩි පිරිසක් මහනුවරට රැස්ව සිටින බැවින් එම තීරණය ගත් බවද මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසා සිටියා.
“ඇත්තටම අපි රටට ජනතාවට ඇත්ත කියන්න ඕන මේ ඉන්න ලක්ෂ 4ක ජනතාව ගත්තොත් ඒ ජනතාවට වැඳ පුදාගන්න තව දින 4, 5ක් යයි, දැන් ඉන්න ජනතාව හොඳටම ඇති, මහනුවර නගරය සීමා සහිත නගරයක්, නගරයට දරන්න පුළුවන් සීමාවක් තියෙනවා, ආහාර පාන සහ සනීපාරක්ෂක පහසුකම් සැලසීම අතින් දුෂ්කර තත්වයක් තියෙනවා, ඒ වගේම තමයි තවදුරටත් ජනතාව මහනුවරට ආවොත් ඉදිරියේදී සෞඛ්‍ය ගැටලු වගේම විශේෂයෙන්ම ආපදා තත්වයකට මුහුණ දෙන්න වේවි”
යම් යම් සමාජ මාධ්‍ය කණ්ඩායම් සංවිධායක මණ්ඩලයට දෝෂාරෝපණය කරලා තිබුණා.නමුත් ඒ කණ්ඩායම් සියල්ල එන ජනතාවට උපරිමයෙන් සලකන බව කියන්න ඕනෑ,ජනතාවගේ පැත්තෙන් අපි මේ තීරණය ගත්තේ, ඔවුන් අපහසුතාවයට පත්වීම වළක්වන්න තමයි මේ තීරණය ගත්තේ, නැවත දැනුම් දෙන තුරු සිරි දළදා වන්දනාවට ගම් බිම්වලින් පිටත් වෙන්න එපා කියලා ඉල්ලා සිටිනවා.