Homeදේශීයටියුෂන් ගුරුවරියට පොලිසිය දුන්නේ අගමැති කාර්‍යාලයේ ලිපියකට

ටියුෂන් ගුරුවරියට පොලිසිය දුන්නේ අගමැති කාර්‍යාලයේ ලිපියකට

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසුන් ඇගයීම සඳහා ඉකුත් අප්‍රේල් 17 සහ 18 යන දිනයන්හීදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය සඳහා ආරක්ෂාව ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය කළ දැනුම් දීමක් අනුව බව වාර්තා වෙයි.

අදාළ උත්සවයට සිසුන් සහ ඔවුන්ගේ මව්පියන් 30,000කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත බැවින් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂාව සලසා දෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය ඉකුත් 08 වනදා ලිපියක් මඟින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.

එම උත්සවය සංවිධානය කර තිබුණේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පවත්වන ගුරුවරියක් විසින්.

එම ගුරුවරිය අදාළ උත්සවයට පොලිස් රථ සහ ආරක්ෂාව මධ්‍යයේ රථ පෙළකින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමිණි ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහක් නිර්මාණය කළා.

ඒ, වත්මන් ආණ්ඩුව මැති ඇමතිවරුන්ට පවා විශේෂ ආරක්ෂාවක් ලබා නොදෙන පසුබිමක එම ගුරුවරියට එවැනි ආරක්ෂාවක් ලබා දුන්නේ කුමන පදනමක් යටතේදැයි ප්‍රශ්න කරමින්.

කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ඉකුත් දා ප්‍රකාශ කළේ අදාළ ගුරුවරියගේ වාහනයට පොලිස් ආරක්‍ෂාව ලබා දීම සිදුව ඇත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් සිදු වන බවයි.

අදාළ උත්සවයට පැමිණෙන පිරිස් සඳහා ආරක්ෂාව ලබාදීමට පියවරගෙන තිබුණ ද අදාළ ගුරුවරියට විශේෂ ආරක්ෂාවක් සැලසීම සිදුකලේ කෙසේද යන්න සම්බන්ධයෙන් එම විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉකුත්දා ප්‍රකාශ කළේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments