බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළව මගී ධාරිතාව මිලියන 6 සිට 12 දක්වා වැඩි කරගැනීමට 2007 වසරේදී සිදු කළ සැලසුම වෙනුවට එම ධාරිතාව මිලියන 15 දක්වා වැඩිකිරීමට නැවත 2013 වසරේදී සැලසුම් සකස් කිරීම හේතුවෙන් ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)(පෞද්ගලික) සමාගම (AASL) පළමු සැලසුම සඳහා වැය කර තිබු රුපියල් මිලියන 344.5ක වියදම අනාර්ථික වූ බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.
මෙම සැලසුම් හා උපදේශන සේවා ලබාගැනීම සඳහා ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)(පෞද්ගලික) සමාගම විසින් 2007 වර්ෂයේදී ජපන් හවුල් සමාගමක් තෝරාගෙන තිබිණි.
මේ පිළිබඳ අනාවරණය වුයේ සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)(පෞද්ගලික) සමාගමට (AASL) අදාළව 2022 සහ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.
තවද, සැලසුම නැවත ප්‍රතිනිර්මාණය කිරීමට පෙර සමාගම සමඟ 2014 වර්ෂයේ ගිවිසුම් අත්සන් කරනු ලැබූවද සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)(පෞද්ගලික) සමාගම විසින් විවිධ අවස්ථාවන්හී සැලසුම් වෙනස් කරමින් ගිවිසුම් සංශෝධනය කිරීම හේතුවෙන් මුලික උපදේශන සේවා ගාස්තුවට අමතරව ඇමරිකානු ඩොලර් 178,589ක්, ජපන් යෙන් මිලියන 1, 612.4ක්, සහ රුපියල් මිලියන 808.6ක් ගෙවීමට සිදුව තිබු අතර ගිවිසුම් කාල සීමාව මාස 47 සිට මාස 131 දක්වා තවත් අවුරුදු 7කින් දීර්ඝ වී තිබු බවට ද කාරක සභාවේදී අනාවරණය විය.
ඒ අනුව, 2014 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා සැලසුම් සහ උපදේශන ගාස්තුව ලෙස රුපියල් මිලියන 3,884.8 ක මුදලක් මෙම උපදේශක සේවා සමාගමට ගෙවා තිබීම මහජන මුදල් අවභාවිතා කිරීමක් බව කෝප් කාරක සභාව අවධාරණය කරනු ලැබීය.
තවද, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාලව දුරස්තව පිහිටි ගුවන් යානා හැසිරවීමේ කොටස හා ටැක්සි මාර්ගය (Remote Apron and Taxiways) ඉදිකිරීමේ කටයුතු සිදුකරනු ලබන අතර මෙමගින් ගුවන් තොටුපොළ සතුව පවතින ගුවන්යානා නැවතුම් සංඛ්‍යාව වැඩි කිරීමට අපේක්ෂා කර තිබුණි.
ඒ සඳහා හසාමා (HAZAMA) ඉදිකිරීම් සමාගම වෙත මාස 30ක කාල සීමාවක් සඳහා රුපියල් මිලියන 6,117.8 ක මුදලකට මෙම ව්‍යාපෘතිය ලබා දී තිබුනද, එහි වැඩකටයුතු අවසන් වන විට රුපියල් මිලියන 766.8ක මුදලක් වැඩිපුර ගෙවා ඇති බවට කෝප් කාරක සභාවේ අවධානය යොමු විය.
එය එසේ වුවද, මෙහෙයුම් හා සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් එය භාවිතා කළ නොහැකි බවට සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරීන් පැවසු අතර එය එසේ භාවිතා කල නොහැකි නම් හසාමා (HAZAMA) ඉදිකිරීම් සමාගම වැඩ අවසන් යයි සඳහන් කොට බාර දුන් එම ව්‍යාපෘතිය කිසිඳු පසුවිපරමකින් තොරව බාර ගැනීමේ තාර්කික පදනම කුමක්දැයි කාරක සභාව ප්‍රශ්න කරනු ලැබීය.
මෙහිදී අනාවරණය වුයේ සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)(පෞද්ගලික) සමාගම විසින් කිසිඳු තාක්ෂණික හෝ මෙහෙයුම් විග්‍රහයකින් තොරව මෙම කටයුතු සිදුකර තිබෙන බවත්, බලාපොරොත්තු වූ අරමුණු ප්‍රායෝගිව සාක්ෂාත් කරගැනීමට මේ ව්‍යාපෘතිය හරහා කළ නොහැකි බවත් නිලධාරීන් හට අවබෝධ වී ඇත්තේ ව්‍යපෘතිය අවසානයේ බවත් ය.
මේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව සම්බන්ධයෙන් කාරක සභාවට වෙත වාර්තා කරන කරන ලෙසට පැමිණ සිටි නිලධාරීන් හට නිර්දේශ කරන ලදී.