අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා සම්බන්ධ පෙත්සම් විභාගයෙන් තමන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු දැනුම් දුන්නා.
මෙලෙස ඉවත් වූයේ දිලිප් නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්.
2008 වසරේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා ඉවත්කර ගැනීම සඳහා නීතිපතිවරයා විසින් ගෙන තිබෙන තීරණයට එරෙහිව මෙම අභියාචනා පෙත්සම ගොනු කර තිබෙන්නේ අතුරුදන් වූ තරුණයින්ගේ ඥාතීන් විසිනි.
පෙත්සම කැඳවනු ලැබුවේ දිලිප් නවාස්, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දීය.
එහිදී පෞද්ගලික හේතුන් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව දිලිප් නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන් දැනුම් දුන්නා.
ඒ අනුව කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම වෙනත් විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සැප්තැම්බර් මස 15 වැනිදා කැඳවීමට නියමිතයි.
මේ අතර ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් ඉවත් වුණා.
මෙම නඩුව විභාග කළ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩුවෙන් ඉවත්වන බව දැනුම් දී තිබුණා.
ඉන් අනතුරුව එම නඩුව මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
විනිසුරු සුජීව නිශ්ශංක මහතා ද සඳහන් කළේ, තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවයි.
ඒ අනුව මෙම නඩුවට සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය මැයි මස 21 වන දා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවන ලෙසත් නියෝග කළා.